හෘද රෝගීන්, දරුවන් හා වැඩිහිටියන් 13 වැනිදා පරෙස්සමෙන්


දිල්ලි දූවිල්ල බලපෑ හැකියි

 

(දයාසීලි ලියනගේ)   

හෘද රෝගීන්, පෙනහළු රෝගීන්, දරුවන් හා වයෝවෘද්ධ පුද්ගලයන් අනිද්දා (13) දිනයේ සිරුර දැඩි ලෙස වෙහෙස කරවීමෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍ය බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.    

දැනට පවතින අන්තර් මෝසම් කාලය තුළ සුළං හමන වේගය ලබන බදාදා වනවිට වෙනස් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   
එම කාලගුණික තත්ත්වය බරපතළ එකක් නොවන බැවින් ජනතාව අනවශ්‍ය ලෙස බියට පත්විය යුතු නැතැයි ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි වීරතුංග මහතා කීය.   


වායු ගෝලයේ තත්ත්ව දර්ශකය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්වන අතර ඉන්දියාවේ සිට හමා එන දූවිලි බලපෑමේ යම් අඩුවක් පසුගිය දිනක දෙකක කාලය තුළ පැවැතියත් සුළඟේ බලපෑම මත බදාදා වනවිට යම් වැඩිවීමක් සිදුවීමට ඉඩ ඇති බව අනුමාන කරනු ලබන බව ද ධර්මසිරි වීරතුංග මහතා ප්‍රකාශ කළේය.   


පවත්වාගෙන යන කාලගුණ අධීක්ෂණ තත්ත්වයට අනුව බදාදා වනවිට සුළු වෙනස්වීමක් ඇතිවිය හැකි බැවින් රටේ ජනතාවගේ වැඩි ආරක්ෂාව සඳහා හෘද රෝගීන්, දරුවන් හා වයෝවෘද්ධ අයට සිරුර මහන්සි වෙන ක්‍රියාවල යෙදීමෙන් වැළකී සිටින ලෙසට ඉල්ලීමක් කරනු ලබන බව ද ඔහු කීය.   


මීදුම වැනි තත්ත්වයක් පරිසරයේ පසුගිය දිනවල පැවතුනත් දැන් එය ක්‍රමයෙන් තුනීවී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.   


මධ්‍යම පරිසර අධිකාරිය හා වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානවල නිරීක්ෂණයට අනුව පසුගිය දිනවල වායුගෝලයේ අංශුමය ද්‍රව්‍යවල යම් වැඩිවීමක් දක්නට ඇති අතර මෙවැනි දූවිලි තවත් පැමිණිය හැකි ද යන්න පිළිබඳව හා දූවිලි වළාව පැමිණි ආකාරය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සොයා බලන බව එහි ප්‍රකාශකයෙක් කීය.   
බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ දැනටත් සුළි කුණාටු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින අතර එම සුළං ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට හමා එන නිසා වැඩි ආරක්ෂාව සඳහා උපදෙස් දෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.   


ඉන්දියාවේ සිට හැමූ දූවිලි වළාවක් ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීම නිසා මෙරට වාතයේ කුඩා දූවිලි අංශු ප්‍රමාණයේ යම් වැඩිවීමක් සිදුවී තිබුණි. කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසක ඉහළ වායුගෝලයේ මේ තත්ත්වය පවතින බව ද ඔහු සඳහන් කළේය.