හිටපු ඇමැති රොත්තක් තවමත් නිල නිවසේ


(දයාසීලි ලියනගේ)  
හිටපු ඇමැතිවරුන් 19 දෙනෙකු තවමත් ඔවුන් නිලතල දැරූ සමයේ සිටි නිල නිවාසවල රැඳී සිටින බව ඉරිදා ලංකාදීපයට වාර්තාවේ.  


අලුතෙන් පත්වී සිටින ඇමැතිවරුන් 20 දෙනෙක් තමන්ට නිල නිවාස ලබාදෙන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇතත් හිටපු ඇමැතිවරු ඉවත් නොවීම නිසා එම ඇමැතිවරුනට නිල නිවාස ලබාදීමට නොහැකිවී ඇත.

හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා අසනීප තත්ත්වය නිසා යම් කාලයක් නිල නිවාසයේ රැඳී සිටීමට අනුමැතිය ඉල්ලා ඇත. නිල නිවාසවල බලහත්කාරයෙන් රැඳී සිටින ඇමැතිවරුනට එම නිවාසයෙන් ඉවත්වන ලෙසට මේ වනවිට රතු නිවේදනය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ නිල නිවාසවලින් ඉවත් වෙන ලෙසට ඔවුන්ට දැනුම් දී ඇති බවය.   


කොළඹ නගරයේ සුපිරිම ස්ථානවල පිහිටි මෙම සුඛෝපභෝගී නිල නිවාසවලට කුලිය වශයෙන් ගෙවනු ලබන්නේ වැටුපෙන් සියයට 10 ක ප්‍රමාණයකි.