හැම සේවකයාටම පඩි දෙන්න බෑ ඇඟලු‍ම් සේවක සියයට තිහක් මුලින් වැඩට ගන්න ඉඩදෙන්න


ඇඟලු‍ම් කම්හල් හිමියෝ රජයෙන් ඉල්ලති  

(දයාසීලි ලියනගේ)  

ඇඟලු‍ම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ගෙන් සියයට 30ක ප්‍රමාණයක් පමණක් යළි කර්මාන්තශාලා ආරම්භ කිරීමේදී සේවයට කැඳවීමටත් මාස 6 ක කාලයක් යනතුරු සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් නොගෙවීමටත් අවස්ථාව ලබාදෙන ලෙසට ඇඟලු‍ම් කර්මාන්තශාලා හිමියන් රජයෙන් ඉල්ලා ඇත.   

ඇඟලු‍ම් කම්හල්වල සේවක සේවිකාවන් ලක්ෂ 4කට අධික පිරිසක් සේවය කරනු ලබන අතර රටේ පවතින තත්ත්වය යටතේ සියලු‍ සේවකයන් එකවර සේවයට කැඳවීමට නොහැකිවී ඇතැයි ඇඟලු‍ම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රෙහාන් ලක්ෂානි මහතා ප්‍රකාශ කළේය.   


ඇඟලු‍ම් කර්මාන්තශාලා 200ක පමණ ප්‍රමාණයක් පවතින අතර ඒවායේ ලක්ෂ 4ක පමණ පිරිසක් සෘජු රැකියාවල යෙදී සිටිති. ඊට අමතරව ලක්ෂ 15ක පමණ පිරිසක් වක්‍ර රැකියාවල යෙදී සිටින බව ඔහු කීය.   
ඇඟලු‍ම් කර්මාන්තය මුළුමනින්ම කඩාවැටී ඇති නිසා සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සඳහා සේව්‍ය-සේවක දෙපාර්ශවයෙන්ම ගෙවිය යුතු මුදල් ගෙවීමට මාස 6ක සහන කාලයකට අවස්ථාව ලබා දෙන ලෙසට ද ඔවුහු රජයෙන් ඉල්ලා ඇත.