හමුදා නිල ඇඳුම් සැකසීම් ටෙන්ඩර් දීම නැවත සොයා බලයි


(උපුල් වික්‍රමසිංහ)  

පසුගිය කාලයේදී යුද හමුදා නිල ඇඳුම් පිළියෙල කිරීම සඳහා බාහිර පාර්ශ්වයන්ට බලපත්‍ර ලබාදී ඇති ආකාරය පිළිබඳ නැවත සොයා බැලීම සඳහා වන වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.  

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ කළ සෝදිසි කිරීම්වලදී ස්ථාන රැසකින් යුද හමුදා නිල ඇඳුම් හමුවීම සම්බන්ධයෙන් කළ විමසීමක දී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.  


ඉකුත් කාලයේදී පැනනැගුණු අවශ්‍යතා මත යුද හමුදා නිල ඇඳුම් නිර්මාණය කිරීමට අදාළ ටෙන්ඩර් විවිධ පාර්ශ්ව වෙත ලබාදී ඇති නමුත් මෑතකදී එවැනි ටෙන්ඩර් ප්‍රදානයක් සිදුව නැතැයි කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත අදාළ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා යුද උපකරණ බළකාය මගින් ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ යුද හමුදා නිල ඇඳුම් මැසීමට අදාළ බලපත්‍ර ලබාගත් පාර්ශ්ව පිළිබඳවත් නිසි බලපත්‍ර නොමැතිව හමුදා ඇඳුම් මසන අය පිළිබඳවත් සොයා බලන බව ද ප්‍රකාශ කළේය.