හම්බන්තොට වරාය බදුදීමේ ගිවිසුම 25 දා ඇමැති මණ්ඩලයට


 

(අජන්ත කුමාර අගලකඩ)  
හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදුදීමේ ගිවිසුම අනිද්දා (25) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

ඒ අනුව වරාය ගිවිසුමට මේ මස 29 වැනිදා අත්සන් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි සඳහන් වේ.  


හම්බන්තොට වරාය බදුදීමේ දී සමාගම් දෙකක් ආරම්භ කිරීමට යෝජනා වී ඇත.  එහි පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියටද, ව්‍යාපාර මෙහෙයුම් පාලනය චයිනා මර්චන්ට් සමාගමට ද පැවරීමට යෝජනා වී ඇත.  


වරාය බදුදීමේ කාලය වසර 80ක් වන අතර එමගින් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබා ගැනීමට රජය අපේක්‍ෂා කරයි. වරායේ කොටස් වලින් සියයට 80ක් චයිනා මර්චන්ට් සමාගමට ද ඉතිරි සියයට 20 ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට යෝජනා වී ඇති අතර අවශ්‍ය නම් අධිකාරියටද තවත් සියයට 10ක කොටස් මුදල් ගෙවා ලබාගැනීමට ද ගිවිසුම යටතේ අවස්ථාව සැලසෙන බව වාර්තා වේ.