හම්බන්තොට වරාය චීනයට දීමේ ගැටලු අවසන්


 

(අජන්ත කුමාර අගලකඩ)  
හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට බදුදීම සම්බන්ධයෙන් පැවැති ගැටලුකාරී තත්ත්වය මේ වන විට නිරාකරණය වී ඇතැයි වාර්තාවේ.  

ඒ අනුව මීට අදාළ ගිවිසුම මේ මස 25 වැනිදාත් ලබන මස 7 වැනිදාත් අතර කාලය තුළ අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  


හම්බන්තොට වරායේ කොටස්වලින් සියයට 80ක් චයිනා මර්චන්ට් සමාගමටද ඉතිරි සියයට 20 ශ්‍රී ලංකා වරාය අධිකාරියටද වශයෙන් වසර 80ක කාලයක් සඳහා බදුදීමට යෝජනාවී ඇති අතර අවශ්‍ය නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොටස් ප්‍රමාණය සියයට 30 දක්වා වැඩිකර ගැනීමේ අවස්ථාවද පවතින බව එම ආරංචිමාර්ග කියයි.  


මේ අතර හම්බන්තොට වරාය බදුදීමේදී සමාගම් දෙකක් පිහිටුවීමටද යෝජනාවී ඇති අතර වරායේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් ව්‍යාපාර පාලනය චයිනා මර්චන්ට් සමාගමටත් පැවරෙන ලෙස එම සමාගම් දෙක පිහිටුවීමටද යෝජනාවී ඇතැයි වාර්තා වේ.   


හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදුදීම වෙනුවෙන් රජය ලබා ගැනීමට අපේක්ෂා කරන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වන බවද පැවසේ.