හම්බන්තොට නැවතූ ඉන්ධන පිරිපහදුව යළි අරඹන්න ඉහළ වැය බරක්


(දයාසීලි ලියනගේ)  

දේශපාලන බලපෑම් හේතුවෙන් ඉදිකිරීම් අත්හිටවූ හම්බන්තොට ඉන්ධන පිරිපහදුව යළි ඉදිකිරීම සඳහා වැය වන මුදල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 95 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නැඟ ඇති බව වාර්තා වේ. මෙම ඉන්ධන පිරිපහදුව පසුගිය 2014 වර්ෂයේදී පිහිටුවීමට සැලසුම් කර තිබුණත් යහපාලන රජය මගින් එය අත්හිටුවනු ලැබීය.  

රටට අවශ්‍ය පිරිපහදු කරන ලද ඉන්ධන සියයට 80 ක ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවී ඇති අතර ඒ සඳහා අතිවිශාල මුදලක් දැරීමට සිදුවී ඇති නිසා හම්බන්තොට ඉන්ධන පිරිපහදුව පිහිටුවීමට ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.  


මෙම පිරිපහදුව පිහිටු වීමෙන් රටට අතිවිශාල මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ඇමැතිවරයා අදහස් කරයි.  


රටට අවශ්‍ය ඉන්ධනවලින් දැනට පිරිපහදු කරනු ලබන්නේ සියයට 20ක ප්‍රමාණයක් වන අතර ඉතිරිය පිරිපහදු ඉන්ධන වශයෙන් පිටරටින් ගෙන්වනු ලබයි.