හකීම්-රිෂාද් තීන්දුව ලබන තුන්වැනිදා


(දයාසීලි ලියනගේ)  

පාස්කු ඉරිද‌ා බෝම්බ සිද්ධියෙන් පසු තනතුරු හැරගිය  මුස්ලිම් ඇමැතිවරුන් යළි තනතුරු බාර ගැනීම සඳහා  ලබන මස තුන්වැනිද‌ායින් පසු තීරණය කරනු ඇතැයි  වාර්තා වේ.  
 මාසයක කාලයක් තුළ පාස්කු බෝම්බ සිද්ධියට සම්බන්ධ අය පිළිබඳව තොරතුරු අනාවරණය කරන තෙක් මුස්ලිම් ඇමැතිවරු තමන් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වූහ. ඉන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමැතිවරු දෙදෙනෙක් පසුගියද‌ා යළි ඇමැති තනතුරුවල දිවුරුම් දුන්හ.  

පසුගිය සතියේදී රාවුෆ් හකීම් හිටපු ඇමැතිවරයාගේ නිවසේ රැස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් නැවත තනතුරු බාර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇත. මාසයක කාලයක් තුළ චෝදනා පිළිබඳව පරික්ෂණ පවත්වා තොරතුරු අනාවරණය කරන ලෙස ඉල්ලා තනතුරුවලින් ඉල්ලා අස්වූ නිසා එම ඉල්ලීම ඉටු වනතුරු තනතුරු යළි බාර නොගත යුතු බව බහුතරයකගේ අදහස වී ඇතැයි සඳහන් වේ.  


 සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා ද ඒ අනුව යළි තනතුර බාර ගැනීම පිළිබඳව ලබන 3 වැනි දිනෙන් පසු තීරණය කරනු ඇතැයි වාර්තා වේ.