සෞඛ්‍ය නිර්දේශ ගැසට්ටුව ඡන්දයට පෙර නොඑයි


​(අජන්ත කුමාර අගලකඩ)  

මහ මැතිවරණයට අද‌ාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත්, මැතිවරණ කොමිෂන් සභාවත් කඹ ඇදිල්ලක නිරතව සිටින නිසා එම ගැසට්ටුව ඡන්දයට පෙර මුද්‍රණය නොවනු ඇතැයි වාර්තා වේ.   

මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්වීමට අද‌ාළව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දුන් නිර්දේශ ගැසට් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබුණ ද මෙතෙක් එය නිකුත් නොකිරීම මත මෙම කඹ ඇදිල්ල ඇතිව තිබෙන බව ආරංචිමාර්ග සඳහන් කරයි.  


සෞඛ්‍ය අමාත්‍යාංශය අද‌ාළ ගැසට් නිවේදනය නිකුත් නොකර සෞඛ්‍ය නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාව විසින් වෙනම ගැසට් නිවේදනයක් ලෙස නිකුත් කෙරෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ද පැවැසේ.  


 එසේ වුව ද අද‌ාළ නිර්දේශ වෙනම ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සූදානමක් නැති බව ද දැනගන්නට ඇත.  


කොවිඩ් 19 වයිරසය හමුවේ මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වන්නැයි දන්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදෙනු ලැබීය.  


එම මාර්ගෝපදේශ මාලාව ගැසට් නිවේදනයක් ලෙස නිකුත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළේය.  


 ඒ අනුව අද‌ාළ ගැසට් නිවේදනය කෙටුම්පත් කර නීතිපතිවරයා වෙත යවනු ලැබූ අතර එය ගැසට් කිරීමට නම් එහි සංශෝධන රැසක් සිදුකළ යුතු බව නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇත.   


එසේ වුව ද අද‌ාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ සූද‌ානමක් සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් දක්නට නැතැයි ද වාර්තා වේ.  


සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව ද ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව දැනගන්නට තිබේ.  


කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ රෝගීන් පිරිසක් ගිය සතියේ යළි හමුවීමත් සමග මෙම සෞඛ්‍ය නිර්දේශ තදින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතින බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.