සෞඛ්‍ය උපදෙස් හා ඡන්ද පනත අනුව ඡන්දෙ තියන හැටි අර්බුදයක්


මැතිවරණ කොමිසම ඇතුළේ සාකච්ඡා පිට සාකච්ඡා

(දයාසීලි ලියනගේ)  

මැතිවරණ පනතට අනුව හා සෞඛ්‍ය උපදෙස් මත ඉදිරි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බව වාර්තා වේ.  

මෙම අංශ දෙකම අතර ගැටුමක් නොවන ආකාරයට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම මේ වෙනවිටත් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා වට 4 ක් පවත්වා ඇතැයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  
ඡන්දය පාවිච්චි කිරීමේදී ඇඟිලි සලකුණ කිරීම, මැතිවරණ රාජකාරි කටයුතු කරන රජයේ සේවකයන්ගේ ආරක්ෂාව, දුරස්ථභාවය ආරක්ෂා කිරීම, ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවට පක්ෂ නියෝජිතයන් කැඳවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මැතිවරණ පනත හා සෞඛ්‍ය උපදෙස් අතර ගැටීමක් ඇති නොවන ආකාරයට මැතිවරණය පැවැත්වීම කොමිසමට සිදුවී ඇත.  


කොවිඩ් වසංගත තත්ත්වය මුළුමනින්ම රටෙන් බැහැර වීමට තවත් කාලයක් ගතවනු ඇතැයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති නිසා, ඒ තත්ත්වය යටතේම මැතිවරණය පැවැත්වීමට සිදුවනු ඇතැයිද ඔහු කීය.  


ඒ අනුව මැතිවරණ පනත හා සෞඛ්‍ය උපදෙස් අතර ගැටුමක් ඇති නොවන ආකාරයට අනුගමනය කළ හැකි විකල්ප ක්‍රියාමාර්ග සාකච්ඡා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.