සෝමාවතිය අවට අද මොකද වෙන්නේ?


 

පොලොන්නරුව ඕනෑගම මැදමළුව පුරාණ රාජමහා විහාරස්ථානයේ වැඩවසන සාමණේර හිමිනමකට, විහාරස්ථානයට කඩාවැදුණු නාඳුනන පිරිසක් පොල්ලකින් හා අතින් පයින් පහරදී පලා ගොස් තිබුණේ පසුගිය 14 වැනිදා රාත්‍රී කාලයේය.


පහරකෑමට ලක්වූ හේවාගම විනයරතන සාමණේර හිමියන් පොලොන්නරුව රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාරද ලැබූහ.


කළු පැහැති කැබ් රථයකින් පැමිණි 4-5 අතර නාඳුනන කණ්ඩායමක් සාමණේර හිමියන්ට පහරදී විහාරස්ථානයට ඇතුළුවී එම විහාරස්ථානයේ වැඩවසන නිකපිටියේ චන්දිම හිමියන් සිටිනවා දැයි කියා සොයා බලා නොසිටි නිසා නාඳුනන කල්ලිය පලා ගොස් ඇත.


මේ සිද්ධිය වන විට චන්දිම හිමියෝ විහාරස්ථානයේ දායකයකුගේ නිවසක පැවති බණකට වැඩම කර සිටියහ.


මැර කණ්ඩායම විහාරස්ථානයට කඩාවදින අවස්ථාවේ තමන් වහන්සේ සිටියේ නම් ඒ අයගේ ගොදුරක් බවට පත්වීමට බොහෝ විට ඉඩකඩ තිබුණ බව චන්දිම හිමියෝ පෙන්වා දෙති.


සෝමාවතිය හා ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානවල අක්කර 12,000ක පමණ දැව ජාවාරම්කරුවන් පිරිසක් විනාශකර දැමීමට හා පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීමට එරෙහිව කටයුතු කිරීම නිසා තමන් වහන්සේ සොයා පැමිණි කණ්ඩායමක් විහාරස්ථානයේ වැඩවාසය කරන සාමණේර හිමිනමට පහරදී පලා ගොස් ඇති බව නිකපිටියේ චන්දිම හිමියෝ පැවසූහ.


පසුගිය මැයි මාසයේ 5 වැනිදා රාත්‍රියේද නාඳුනන පුද්ගලයන් 04 දෙනෙක් යතුරුපැදි හතරකින් විහාරස්ථානය අවට ගැවසී ගොස් තිබෙන බවත් එදිනද තමන් වහන්සේ දායකයකුගේ බණකට වැඩම කර සිටි බවත් චන්දිම හිමියෝ වැඩිදුරටත් කීහ.


මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපයට තවදුරටත් අදහස් දක්වමින් චන්දිම හිමියෝ මෙසේ පැවසූහ.


සෝමාවතිය රක්ෂිත වනාන්තරය හා ජල ගැලුම් නිම්නවල ඇති කුඹුක් ගස් ඇතුළු වටිනා කියන ගස් කොළන් සංවිධානාත්මක ජාවාරම්කරුවන් කණ්ඩායමක් විසින් කාලයක් තිස්සේ සිට කපනවා. මේ වෙනකොට අක්කර 12,000 ක විතර ප්‍රමාණයක් මේ සංවිධානාත්මක කැලෑ පාළුවෝ විනාශ කර තිබෙනවා. 


මෙය එතෙක් මෙතක් මෑත ඉතිහාසයේ සිදුකර තිබෙන විශාලතම වන විනාශය වශයෙන් හැඳින්වීමට පුළුවන්. මේක මහා ජාතික අපරාධයක්.


මේ මහා වන විනාශය දිහෑ තවදුරටත් ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්න බැරි නිසා මේක නවත්වන්න මම ඉදිරිපත් වුණා. ඒ වෙන මොකවත් නිසා නෙමේ පරම්පරා ගාණකට මේ වනාන්තර රැකදිය යුතු යැයි කල්පනා කළ නිසායි. චීවරයක් දරාගෙන ඉන්න බුද්ධ පුත්‍රයෙක් වශයෙන් මේ වගේ අපරාධ වෙනකොට අහක බලාගෙන ඉන්න කොහෙත්ම පුළුවන්කමක් නැහැ. වසරක විතර කාලයක ඉඳලා තමා මේ මහා වන විනාශය සිදුවන්නේ. මේ විදිහට තවදුරටත් කැලෑ විනාශ කළහොත් වැඩි කාලයක් යන්නට මත්තෙන් මේ පළාතම සහරා කාන්තාරයක් බවට පත්වේවි. අන්න ඒකයි අපිට තියන ලොකුම බය.


සෝමාවතිය රක්ෂිතයේ මායිම් පවා මේ කැලෑ පාළුවන් වෙනස් කරලා. මහ විනාශයක් කරලා තියෙන්නේ මහත්තයෝ. සීමා මායිම් වෙනස් කරපු බවට ඕනෑම කෙනෙකුට පෙන්වන්න පුළුවනි. ඒකට අවශ්‍ය සියලුම සාක්කි හා සාධක අප සතුව පවතිනවා. අපි බොරු කියන්නේ නැහැ. අපි කියන්නේ බොරුනම් ඒ බව ඔප්පු කරලා පෙන්වන්න කියා ඕනෑම ජගතෙකුට අභියෝග කරනවා.
කැලෑව විනාශ කරලා විතරක් මේ සංවිධානාත්මක කණ්ඩායම් නැවතිලා නැහැ. පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන ගණනාවක් පවා විනාශ කරලා දාලා. ජාතියේ ප්‍රෞඪත්වය මේ විදිහට විනාශකර දැමීමත් මහා ජාතික අපරාධයක්. ඒ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.


මේ කැලෑ පාළුවන් මුවන් ගෝනුන් වගේ සතුන් පවා දඩයම් කරනවා. අලි ඇත්තු පවා මරා දමනවා. මේ මහා විනාශයන් ගැන ජනාධිපතිවරයාටත් මෑතකදී මාගේ මූලිකත්වයෙන් තොරතුරු වාර්තාවක් ලබාදුන්නා. ජනාධිපතිවරයා හමුවී මේ මහා විනාශය ගැන සාකච්ඡා කරලා කඩිනමින් මේ අපරාධය නවත්වාගන්න අවශ්‍ය පියවර ගන්න දිනයක් ඉල්ලා තිබෙනවා.


තවමත් ඒ සඳහා දිනයක් ලැබුණේ නැහැ. ළඟදීම දිනයක් ලැබෙයි කියා අප කල්පනා කරනවා. ජනාධිපතිවරයා ගැන තමා ලොකු විශ්වාසයක් තබාගෙන ඉන්නේ. එතුමා මේකට ඉක්මනින් මැදිහත් වෙයි කියා අප සිතනවා. වනජීවී ඇමතිවරයා පවා අපි මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබෙනවා. වල් අලි පවා ගම්වලට කඩාවදින්නේ මේ වන විනාශය නිසා. ඒ සතුන්ගේ වාසස්ථාන අහිමිව ගොස් තිබෙන නිසායි.


ඒ නිකපිටියේ චන්දිම හිමියන්ගේ හඬයි.


පරිසර සංවිධාන ගණනකම හා බොදුබලසේනා සංවිධානයටද සිදුවන මේ මහා විනාශය ගැන දැනුම්දුන් බව චන්දිම හිමියෝ පවසති.
බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා මේ විනාශය ගැන සොයා බැලීමට සෝමාවතියට වැඩම කර ඇත්තේ මෙසේ පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.


මේ ගැන සොයා බැලීමට පරිසර හිතකාමීන් පිරිසක්ද භික්ෂූන්වහන්සේලා සමග පැමිණියහ.


වන විනාශය හා පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානවලට කර ඇති හානි පිළිබඳව සොයා බැලීමට වැඩම කළ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලා සමග පැමිණි පිරිස හා ප්‍රදේශයේ පිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක්ද උද්ගතවී තිබිණි.


එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා දුර දිග නොගියේ භික්ෂූන් වහන්සේලාගේ තිබූ ඉවසීමේ ගුණය නිසාය.


වන විනාශය ගැන සොයා බැලීමට ආ බොදු බලසේනා සංවිධානයේ භික්ෂූන්වහන්සේලා හා සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියෝ ඇතුළු එම සංවිධානයට සම්බන්ධ භික්ෂූන්වහන්සේලාද මුලින්ම වැඩමකර තිබුණේ ඕනෑගම මැදමළුව පුරාණ රාජමහා විහාරස්ථානය වෙතය.


නිකපේ චන්දිම හිමියන් වැඩවාසය කරන ඕනෑගම මැදමළුව පුරාණ රාජමහා විහාරස්ථානයට මැර කණ්ඩායමක් කඩාවදින්නේ මෙවැනි වටපිටාවක් තුළය.


මැර කණ්ඩායමේ පහරකෑමට ලක්වූ විහාරවාසී හේවාගම විනයරතන (14) සාමණේර හිමියෝ ඉරිදා ලංකාදීපයට සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් මෙසේ පැවසූහ.


මම වැඩවාසය කරන පන්සලේ නායක හාමුදුරුවෝ මේ සිද්ධිය වෙද්දී විදෙස්ගතවෙලා හිටියේ. නිකපේ විනීත හිමියෝ තමා මාත් එක්ක විහාරස්ථානයේ වැඩ වාසය කළේ.


මේ සිද්ධිය වෙච්ච දවසේ එනම් 14 වැනිදා රාත්‍රියේ විනීත හිමියෝ බණකට වැඩම කළා. ගමේ මාමලා දෙන්නෙක් මගේ තනියට පන්සලට එනකම් මම විහාරස්ථානයේ ඉදිරිපස පුටුවක වාඩිවෙලා හිටියා.


එතකොට පන්සල ඉදිරිපිට පාරේ කැබ් රථයක් නතර කර තිබෙනවා දැක්කා. පන්සලේ බල්ලෝ දෙන්නා බුරන නිසා ඒ ගැන විපරම් කර බලන්න මම ඒ පැත්තට ගියා. බෝමළුවේ හතරපස් දෙනෙක් ඉන්නවා මම දැක්කා. ඔවුන් මා පසුපස පන්නාගෙන ආවා. ඒ නිසා මම දුවන්න පටන්ගත්තා. එක්කෙනෙක් මගේ සිවුරෙන් ඇදලා අල්ලාගත්තා. තවත් කෙනෙක් ඔළුවට පොල්ලකින් ගැසුවා. මාව බිම ඇදගෙන වැටුනා. පිරිස අතරේ සිටි තවත් අයෙක් මට පා පහර එල්ල කළා.


ඊට පස්සේ මොකද වුණේ කියා සාමණේර හිමියන්ගෙන් විමසූ අවස්ථාවේ උන්වහන්සේ මෙසේ පැවසූහ.


මට පහර දුන්නු අය විහාරස්ථානය ඇතුළට ගිහින් ටික වෙලාවකට පස්සේ එළියට ඇවිත් කැබ් එකේ නැගලා යන්න ගියා. පන්සලට නිතර එන මාමා කෙනෙක් පන්සලට ආවා. මම වෙච්ච සිද්ධිය ඒ මාමා එක්ක කිව්වා.


මාමා මාව පන්සල කිට්ටුව තියන මාමා කෙනෙකුගේ ගෙදරට එක්කගෙන ගියා. ඒ මාමලාගේ ගෙදරදී මගේ ඔළුවට බාම් වර්ගයක් ගෑවා. බණට වැඩිය චන්දිම හාමුදුරුවෝ ආවට පස්සේ පොලිසියට මේ ගැන පැමිණිලි කළා. පොලොන්නරුව ඉස්පිරිතාලයට එදා රෑම මාව අරගෙන ගියා. 16 වැනිදා තමා මම ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන විහාරස්ථානයට වැඩම කළේ. මට ගහපු කට්ටිය මගෙන් මුකුත් ඇහැව්වෙත් නැහැ. කිසිම කතාබහක් කළෙත් නැහැ.


නිකපිටියේ චන්දිම හිමියෝ පැවසුවේ මෙවැනි තර්ජනය කිරීම් හෝ බියවැද්දීම්වලින් තමන් වහන්සේව නිහඬ කළ නොහැකි බවත් මේ සටන ඉදිරියටම ගෙනියන බවත්ය.


මෙම සිද්ධියෙන් පසු විහාරස්ථානයට පොලිස් ආරක්ෂාවක් සපයා තිබෙන බවද චන්දිම හිමියෝ පැවසූහ.


සාමණේර හිමියන්ට පහරදුන් පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පැවැත්වෙන බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.


උතුරු මැද පළාත බාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලොන්නරුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන මහතාගේ මෙහෙයවීමෙන් පොලොන්නරුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ජරූල් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය