සෝමාලි හමුදාවෙන් ගහද්දි අපිව ඉදිරියට දමා ඔවුන් බේරෙන්න හැදුවා


 

අපි සත්තු වගේ ජාතියක්. අපිට උඹලා ගැන කිසිම කැක්කුමක් නෑ. අපි කියන හැටියට වැඩ නොකළොත් එකා එකා මරනවා කියලා මුහුදු කොල්ලකරුවන් අපිට තර්ජනය කළා. අපිට ආපහු එන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් තිබුණේ නෑ. අපි ඒක කාලයට භාරකළා.


සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව නිරුපද්‍රිතව යළි සිය රට පැමිණීමේ වාසනාව හිමිකරගත් ඒරිස් 13 නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල මහතා තම අත්දැකීම විස්තර කරමින් අප සමඟ පැවසුවේ තම ජීවිත බේරීම පිළිබඳව තවමත් අදහා ගැනීමට නොහැකි පුදුමයක් බව පවසමිනි.


කළුබෝවිල මහතා පසුගිය අගෝස්තු මාසයේ ඩුබායි සිට ලංකාවට පැමිණියේ නැවත නැවට නගින්නේ මාස හතරක නිවාඩුවක් අවසානයේ නැවත් සමඟ තෙල් අරන් ආපසු ඩුබායිවලට එන්නැයි නැව අයත් සමාගමෙන් කතා කරද්දී කළුබෝවිල මහතාට එය එක එල්ලේම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය. ඒ තමන් නැව් ගත වන්නේ කළුබෝවිල ඔයත් ආවොත් විතරක් යැයි නැවේ කපිතාන් නිකලස් මහතා කළ ප්‍රකාශය නිසාය. 


ඒ අනුව නැවතත් ඩීසල් ටොන් 1500ක් සමඟ ඒරිස් නෞකාවට නැගුණු කළුබෝවිල මහතා ඇතුලු අටදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය පසුගිය ජනවාරි 26 වැනිදා ජිබුටි බලා පිටත් විය. ජනවාරි 28 වැනිදා වන විට ජිබුටිවලට ගිය නැව එහිදී රැගෙන ගිය ඩීසල් ප්‍රමාණය නිදහස් කළේය. එහි මාස කීපයක් රැඳී සිටි ඒරිස් නෞකාවට යළිත් ඩීසල් ටොන් 1500ක් සමඟ සෝමාලියාවේ මොගඩිෂුවලට ගමන් කරන ලෙස දැනුම් දෙනු ලැබිණ. ඒ සඳහා අදාළ තෙල් ප්‍රමාණය රෙක්සි 01 නෞකාවෙන් ඒරිස් 13ට මාරු කරනු ලැබුවේය. එම තෙල් ප්‍රමාණයද ඇතිව මාර්තු අට වැනිදා ජයන්ත මහතා ඇතුලු පිරිස මොගඩිෂු බලා යාමේ අදහස ඇතිව ගමන් ආරම්භ කළහ. දින කීපයක් යාත්‍රා කළ ඔවුන්ට සෝමාලියානු මුහුදු සීමාවේදී අලුත් අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ සිදුවීම ජයන්ත මහතා විස්තර කරන්නේ මෙලෙසිනි.


සාමාන්‍යයෙන් දවාලට මම පැය දෙකක් විතර නිදාගන්නවා. මේ සිදුවීම වූ දිනයේත් මම නිදාගන්න ගියා. ඒ වෙලාවේ තෙවැනි ඉංජිනේරු නිලධාරියා මා වෙනුවෙන් වැඩකළා. 2012න් පස්සේ මුහුදු කොල්ලකෑමක් සිදුවෙලා නැති නිසා අපි ගමන් කරන්නේ ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැතිවයි. දවල් දෙකයි විස්සට විතර තෙවැනි ඉංජිනේරු ජනක මට කතා කරලා කිව්වා ටිකක් අමුත්තක් වගේ දැනෙනවා, අපේ නැවට ටිකක් ඈතින් බෝට්ටු දෙකක් රේඩාර්වලට අහුවෙනවා. ඒත් මම එතරම් ගණන් ගත්තේ නැහැ. නමුත් මේ නිලධාරියා කියපු නිසා මම ගිහින් බැලුවාම ඒවා තිබුණේ ගොඩබිම පැත්තෙයි. එය මාලු අල්ලන පිරිස් ගැවසෙන ස්ථානයක් නොවන නිසා අපිට සැක හිතුණා. අපි දුර දක්නයෙන් බැලුවාම එක බෝට්ටුවක් තරමක් ළඟින් පෙනුණා. එහි නිරායුද හය දෙනෙක් ඉන්න බව අපි දැක්කා. නමුත් අපිට ඇතිවුණ සැකය නිසා අපි අංශක අනූවකින් අපේ ගමන් මාර්ගය වෙනස් කළා. කරන්න දෙයක් නැතිකමට මේ විදිහට නැව හැරෙව්වත් එයින් ප්‍රයෝජනයක් නොවන බවද අපි දැන සිටියා. මොකද නැවක වේගය පැයට මුහුදු සැතපුම් හයක් පමණ වෙද්දී මේ බෝට්ටුවක වේගය පැයට නාවුක සැතපුම් තිහක් පමණ වෙනවා. ඒ නිසා ඔවුන්ට කෙටි වෙලාවකින් අපිව අල්ලන්න පුලුවන් බව අපි දැන සිටියා. අපි සැකකළා වගේම ඔවුන් අපි පසුපස හඹා ආවා. 


දැන් තමයි ත්‍රාසජනකම අත්දැකීම අපි ලබන්නේ. එක බෝට්ටුවක් අපිව හඹා එන බව නිරීක්ෂණය වුණා. අපි කලබල වුණ් නැහැ. අපිව හඹා ආ බෝට්ටුව නැව වටේ වටයක් කැරකුණා. මම කිසිම ගාණක් ගන්නේ නැතිව උඩින් ගිහින් බලලා මොනවද ඔයාලට ඕනෑ කියලා ඇහුවාම වතුර අවශ්‍ය බව කිව්වා. මම අපේ ප්‍රධාන නිලධාරි සම්පත්ට කතා කරලා කිව්වා මේ අයට වතුර කේස් එකක් දෙන්න කියලා. ඒක ගත්තු බෝට්ටුව වේගයෙක් ආපසු ගියා. ඔවුන් ගියේ අනෙක් බෝට්ටුව ළඟට. එතැනට ගියාම නිරායුද කණ්ඩායම අනෙක් බෝට්ටුවට නැගලා ඒ බෝට්ටුවේ සිටි කැමා කිට් ඇඳගත් ආයුද සන්නද්ධ පිරිසක් මේ බෝට්ටුවට නගිනවා අපි දුරදක්නවලින් නිරීක්ෂණය කළා. මේ තත්ත්වය යටතේ මම නැව ගෙනයාම මගේ අතට ගත්තා. කැප්ටන් තරමක් වැඩිහිටි අයෙක්. ඔහුට යම්කිසි තිගැස්මක් ඇතිවුණොත් සියල්ල කණපිට හැරෙන්න පුලුවන් නිසයි මම එහෙම කළේ. අපේ නැවේ සියලු දෙනා එක කතාවට හිටියා. මම එහෙම කරද්දී අපේ ප්‍රධාන නිලධාරියා හා තෙවැනි ඉංජිනේරු තමන්ගේ වගකීම හරියට ඉටු කළා. නැවේ තිබෙනවා හදිසි අවස්ථාවකදී අපේ සමාගමට අනතුරු ඇඟවීමට හැකි බොත්තමක්. ඒ අය ඒක තද කළාම එහෙන් අපිට කතාකළා. අපි විස්තරය කිව්වා. නමුත් ඒක කියමින් ඉන්න අතරේ අර ආයුද සන්නද්ධව පැමිණි බෝට්ටුවේ සිටි පිරිස අපේ නැවේ පාලක මැදිරිය පැත්තට වෙඩි තිබ්බා. ඒ වෙඩි හඬත් අපේ සමාගමේ ලංකාවේ සුපිරින්ටෙන්ඩන් වෝල්ටර් ප්‍රනාන්දු මහතාට ඇහිලා තිබුණා. නමුත් ඊට පස්සේ අපිට කතාකරන්න වෙලාවක් වුණේ නෑ. කොල්ලකරුවෝ නැවට පැන්නා. ඒ අතරේ අපේ නිලධාරින් ලෝකයේ සියලුම නෞකාවලට, ආරක්ෂක අංශවලට හා පාලක මැදිරිවලට මේ අනතුර දැන්විය හැකි බොත්තමක් එබුවා. එහි තිබෙනවා අනතුර කුමක්ද යන්නත් දැක්විය හැකි පහසුකමක්. අපේ නිලධාරියා ක්‍රියාත්මක කර තිබෙන්නේ මුහුදු කොල්ලකෑමක් ගැන ඇඟවෙන බොත්තමයි. ඒ නිසා ලෝකයටම මේ සංඥාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවන්නට පෙරම ගියා. 


ආයුද සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් ගැන අහලා තිබුණත් එවැනි අත්දැකීමක් පෞද්ගලිකව ලබා නැති මේ නැවේ නාවුකයින් අතරින් එක් අයෙක් හෝ කලබල වූයේ නම් සියල්ල කණපිට පෙරළෙන්නට ඉඩ තිබෙන බව ජයන්ත කලුබෝවිල මහතා වටහා ගත්තේය. මෙහි සිටි ඇතැමුන් මේ ක්ෂේත්‍රයට ආධුනිකයන් වූහ. එහෙත් ජයන්ත මහතා මේ සියලු දෙනා අමතා බය වෙන්න එපා. මොනවා වුණත් අපි කලබල වෙන්න හොඳ නැහැ. අපිට දවස් පහෙන් මෙතනින් යන්න පුලුවන්. ඒ කොහොමද කියලා දැන් මට කියන්න බැහැ. නමුත් අපි මාර්ගයක් පාදා ගනිමු යැයි පැවසූයේ කවුරුත් සන්සුන් කරමිනි. 


නැව තමන්ගේ ග්‍රහණයට ගැනීමට නම් මෙහි තිබෙන සියලු සන්නිවේදන සම්බන්ධතා බිඳ දැමිය යුතු බව සෝමාලි කොල්ලකරුවන්ට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. ඒ නිසා ඔවුන් එසේ කරන ලෙස විධානය කළේය. ඔවුන්ගේ දැනුම පිළිබඳවත් නිරීක්ෂණය කරමින් ජයන්ත මහතා සංඥා පද්ධති කීපයක් අක්‍රිය කළේය. එසේ කර මඳක් නැවතී බැලූ ඔහුට නිරීක්ෂණය වූයේ විධානය දුන් කොල්ලකරුට ඒ පිළිබඳ මනා දැනීමක් නැති බවය. ඒ නිසා ඔහු තම නෞකාව තිබෙන තැන කාටත් දැනගත හැකි වන ඒඅයිඑස් යන්ත්‍රයට අත තැබුවේ නැත. එහෙත් ගොඩබිමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධතා පැවැත්විය හැකි යන්ත්‍රය ගලවා දැමීමට කොල්ලකරුවෙක් දැරූ උත්සාහයද ඔවුන් උපක්‍රමශීලීව පරාජය කරගත්තේ මෙය අක්‍රිය කළොත් උඹලට අවශ්‍ය මුදල් ඉල්ලලා දෙන්න අපේ සමාගමට කතාකරන්නවත් නොහැකි වෙනවා. ඒ නිසා මේක ඉතුරු කරපල්ලා කියමිනි. 


කොල්ලකරුවන්ගේ භාෂාව තමන්ට නොතේරෙන තමන්ගේ භාෂාව කොල්ලකරුවන්ට නොතේරෙන තත්ත්වයක් තුළ මේ සියලු සන්නිවේදනයන් සිදුකර ගත්තේ කෙසේදැයි ජයන්ත මහතා මෙසේ විස්තර කළේය. 


මුලින්ම අපි කියපු දේවල් යම්තමට ඉංග්‍රීසි තේරෙන කොල්ලකරුවෙක් සමඟ කතා කිරීමෙන් තෝරාබේරාගන්න හැකි වුණා. අපිව යටත් කරගත් කොල්ලකරු මට කිව්වා නැව ඉදිරියෙන් යන බෝට්ටුවට පිටුපසින් අරන් යන්න කියලා. පැය දොළහක් පමණ ගමන් කර අලුයම කාලයේ අපි සෝමාලියාවේ කලුලා කියන පැත්තට ආවා. එතන නැව නැංගුරම් දැම්මා. ඒ ප්‍රදේශයේ ඔවුන්ගේ ගමක්. පස්සේ ඒ අය ගොඩක් ආයුධ ඇතිව අපේ නැවට ඇවිත් අපි සතු සියලුම මුදල්, ජංගම දුරකථන, රත්තරන් බඩු, ලැප්ටොප් පරිගණක ආදී සියල්ල කොල්ල කෑවා. අපිට ඉතිරි වුණේ ඇඳගෙන හිටිය ඇඳුම විතරයි.  


ඊට පස්සේ අපිට පරිවර්තකයෙක් හමුවුණා. ඔහු අපි සමග බොහොම සුහදව කතා කළා. ඔවුන්ගෙන් අපි ඇහුවා මොනවද ඕනෑ කියලා. එක්කෙනෙක් කිව්වා ඩොලර් මිලියන දෙකක් කියලා. නමුත් ඒක ඒ අය කතා කරලා ගත්ත තීන්දුවක් නෙවෙයි කියලා වැටහුණා. අපිව මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන කියන සංඥාව ලැබුණ අපේ සමාගම සෝමාලි ආරක්ෂක අංශ පීඑම්පීඑස් කියන මුහුදු කොල්ලකරුවන් සමග සටන් කරන්නම පුහුණු කළ හමුදාවකට ඒ බව දැනුම් දී තිබෙනවා. මේ අය අපේ නැව ඉන්න තැනට එන බව අපි දැක්කා. මේක දැනගත් කොල්ලකරුවෝ කලබල වුණා. උන් අපිව පැය එකොළහක් විතර නැවත අරන් ගියා තවත් පාළු තැනකට. එතනත් උන්ගේ ගමක්. එහිදී කලින් ආපු කොල්ලකරුවෝ ඉවත් වෙලා ඊට වඩා ප්‍රබල කොල්ලකරුවෝ පිරිසකට භාර දුන්නා. ඔවුන් හැත්තෑවක් විතර අපේ නැවට නැග්ගා. ඒ සේරම ආයුද සන්නද්ධවයි හිටියේ. ඒ අයගේ ලොක්කා තරමක් දරුණුයි. ඔහු අපිට කිව්වා “අපි තිරිසන්නු වගේ ජාතියක්. අපිට අනුකම්පාව කියලා දෙයක් නෑ. ඒ නිසා වහාම මේ නැව පස්සේ එන හමුදාවට යන්න කියපල්ලා” කියලා තර්ජනය කළා. නමුත් අපි කිව්වාට ඒ අය ආපහු යන්නේ නැහැ. ඒ අය එන්නේ අපි කියලා නෙවෙයි. ඒ නිසා අපිට විනාඩි දෙකක් දෙන්න අපි ගෙවල්වලට කතා කරලා මේ ගැන කියලා ඒ අය ලවා බලපෑම් කරන්නම් කියලා. ඒ ගැටේට ඔවුන් අහුවුණා. ඒ අනුව තමයි අපිට ගෙවල්වලට කතා කරන්න ලැබුණේ. අපේ සම්පත් ගෙදරට කතාකළ වෙලාවේ එයාගේ අක්කා මේක පටිගත කරලා හිරු නාළිකාවට දීලා තිබුණා. එහෙම ගිහින් අපිට මේ මාධ්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. පස්සේ විදේශ ඇමතිත් කතා කළා. ඔහු කිව්වා බය වෙන්න එපා අපි මේක ඇමරිකාවට භාරදීලා තියෙන්නේ කියලා. ඒකට නම් අපිත් බය වුණා. මේක භාවිතා කරලා ඇමෙරිකාව සෝමාලියාවට ගැහුවොත් අපි සේරම ඉවර වෙනවා. නමුත් අපිට එපා කියන්න පුළුවන්කමක් තිබුනේ නෑ.


ඒ අතරේ ඇමෙරිකන් ගුවන් යානා දෙකකුත් අපේ නැවට ඉහළින් ගමන් කරනවා අපි දැක්කා. අපි බය වුණා. නමුත් කලබල වුණේ නැහැ. ඔවුන් ලබාගත් ඡායාරූප තමයි පසුව මාධ්‍යවල අපේ නැව ගැන පළවුණේ. ඒ අය කිසිම පහරදීමක් කළේ නැහැ. නමුත් සෝමාලියානු පීඑම්පීඑස් එකේ යාත්‍රාවලින් දිගටම ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඒවා අපිටත් වැදෙන්න තිබුණා. නමුත් අපි අපේ සංඥා පද්ධති භාවිතා කරලා අපි ඉන්න තැන් ගැන ඒ අයට දැනුම් දුන්නා. ඒ අය අපිව රැකලා අනෙක් පැතිවලට තමයි ප්‍රහාර එල්ල කළේ. පසුව කොල්ලකරුවෝ අපිව ඉස්සරහට දාලා බේරෙන්න හැදුවා. අපි ඒ ගැනත් ඒ යාත්‍රාවලට දැනුම් දුන්නා. අන්තිමට කොල්ලකරුවෝ අපිට පැය භාගයක් දීලා කිව්වා මේ පැය භාගය ඇතුළත මේ අය ආපසු හරවා යැව්වේ නැත්නම් උඹලා එකා එකා මරණවා කිව්වා. ඒ පැය භාගයත් ඉවර වුණා. 


අවසන් පැය භාගය ඒ අත්දැකීමට මුහුණ දුන් කෙනෙකුටම මිස වෙනත් අයෙකුට ඒ අයුරෙන්ම බියක් ඇති නොකරනු ඇත. ඒ අත්දැකීම කලුබෝවිල මහතා අපේ සිත්වලත් බියක් ඇති කරමින් මෙසේ කියා සිටියේය.


පැය භාගය ඉවර වුණාට පස්සේ කොල්ලකරුවෝ අපේ තෙවැනි ඉංජිනේරු අල්ලගෙන හිසට රෙද්දක් දාලා වහලා මරන්න කියලා අරන් ගියා. අපිට ඔහුගේ ජීවිතය බේරෙයිද නැද්ද කියලාවත් ඊට පස්සේ මරණයට කැප විය යුත්තේ කවුද කියලාවත් හිතාගන්න බැරි වුණා. නමුත් මම හැමෝටම කිව්වා අපිට කිසිදෙයක් වෙන්නේ නෑ බය වෙන්න එපා, හිත හදාගෙන ඉරණමට මුහුණ දෙමු කියලා. හදිසියේම කොල්ලකරුවන්ගේ ප්‍රධානියාට දුරකථන ඇමතුමක් ආවා. ඒක ගොඩක් ප්‍රබල එකක් බව දැනුණේ ඔහුගේ මුහුණ වෙනස් වූ ආකාරය අනුවයි. පසුව ඔහු කෑ ගහලා මරන්න අරන් ගිය අපේ නිලධාරියාව ආපසු කැඳෙව්වා. ඔහු අනෙක් අයට කතා කරලා මේ වැඬේ අත්අරින බව කිව්වා. ඒක අහපු ඔවුන්ගේ ආරක්ෂාවට පැමිණි පිරිසක් මුදල් නොලැබෙන බව දැනගෙන කෝපවෙලා අපිව මරන්න හැදුවා. පස්සේ අර ලොක්කා අපිව ඇතුළේ තියලා දෙපැත්තෙන් ලොක්කළා. ටික වෙලාවක් ඔවුන් දෙගොල්ල අතර සටනක් තිබුණත් සියලු දෙනා පිටව යන බව දැක්කා. අපි ඒ බව ආරක්ෂක අංශවලට දැනුම් දුන්නා. ඒ අය ඇවිත් අපට ආරක්ෂාව දීලා මොගාඩිෂුවලට එක්ක ගියා. එහිදී අපිට පිළිගැනීමේ උත්සවයක් තිබුණා. ඇඳි වත විතරක් ඉතිරිවුණ අපිට සමාගමෙන් සියලු දේවල් ලබාදුන්නා. 


මේක හීනයක් වගේ කතාවක් කියලා ඕනෑම කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒත් කලුබෝවිල මහතා කියන්නේ තමන් ඇතුලු සියලු නිලධාරින් කලබල නොවී ගැටලුවට මුහුණ දුන් නිසාත් සෝමාලි රජයත්, අපේ රජයත් විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමා පෞද්ගලිකවම සෝමාලි ජනාධිපතිට පණිවුඩයක් යවමින් කළ බලපෑම, විදේශ ඇමති මංගල සමරවීර, නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිලවා, එම අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ගනේගම, නාවුක හමුදාපති, ජාත්‍යන්තර නාවුකයින්ගේ සුබසාධක ආයතනයේ අධ්‍යක්ෂක රංජන් පෙරේරා, වෙළෙඳ නැව් අධ්‍යක්ෂක ජෙනරාල් අජිත් සෙනෙවිරත්න කළ මැදිහත්වීමත් මුලින්ම අපිට ඇමතූ හිරු මාධ්‍ය ආයතනය ඇතුලු සියලු මාධ්‍ය ආයතනවලින් ලබාදුන් සහයෝගයත් අපේ මේ නිදහස ලැබීමට විශාල දායකත්වයක් වුණා. ඒ සියලු දෙනාට ස්තුතිකරන්න අපිට වචන නැහැ. 

ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ