සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයකට ශ්‍රීලනිපයෙන් යෝජනා


(අජන්ත කුමාර අගලකඩ)   

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී පාර්ලිමේන්තුවට අමතරව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් ද පත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජිත ව්‍යවස්ථා සම්පාදන කෙටුම්පත් කමිටුවට යෝජනා කර ඇත.   
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ යෝජනාවලිය එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට පෙරේදා (26) බාරදෙනු ලැබීය.   

එම සෙනෙට් මණ්ඩලයට විද්වතුන් ඇතුළු සමාජයෙ පිළිගත් පුද්ගලයන් පත්කළ යුතු බවටත් එසේ පත් කරනු ලබන සෙනෙට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ සම්මත කරන අණපනත්වලින් බැහැරව කටයුතු කළ නොහැකි බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යෝජනාවලිය මගින් පෙන්වා දී ඇතැයි වාර්තාවේ. 

 
මේ අතර පරිසර සංරක්ෂණය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇත.

   
පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ සියයට 70යි 30යි වන සේ කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්විය යුතු බවට ද ශ්‍රීලනිපය යෝජනා කර තිබේ.