සුළු වැරැදිවලට දඟගෙට නියමවූ අය නඩත්තුවට වසරකට කෝටි 519ක්


බන්ධනාගාරවල තදබදයත් වැඩිවෙලා   

(මනෝප්‍රිය ගුණසේකර)   

සුළු වැරදි කිරීම නිසා නියම වූ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිවීමෙන් බන්ධනාගාරගත කෙරුණු රැඳවියන් හේතූවෙන් රජයට වසරකට රුපියල් කෝටි 579 කට අධික වියදමක් දැරීමට සිදුව ඇතැයි නවතම සමීක්‍ෂණ වාර්තාවකින් හෙළි වී ඇත.   

මහත් අර්බුදයකට ලක්ව ඇති බන්ධනාගාර තදබදයට හේතූ වී ඇත්තේ ද සුළු වරදවල් කිරීම නිසා නියම වූ දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගර ගත කෙරුණු රැඳවියන් 22,838 දෙනා බව හෙළි කරන එම සමීක්‍ෂණ වාර්තාව එම ප්‍රමාණය 2018 වසරේ දී බන්ධනාගාර ගත කෙරුණු රැඳවියන්ගෙන් සියයට 64 ක් බව ද පෙන්වා දෙයි.   


බන්ධනාගාර තදබදයට මෙන්ම රජයකට දැරිය නොහැකි අධික වියදමක් මේ හේතූව නිසා දැරීමට සිදුව ඇතැයි පෙන්වා දෙන උසස් නිලධාරියකු 1999 වසරේ දී හඳුන්වා දෙනු ලැබූ ප්‍රජා විශෝධන පනත අනුව කටයුතු කළා නම් අවම වශයෙන් පසුගිය වසර 19ක කාලය තුළ රටට රුපියල් කෝටි 1000 කට අධික මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව තිබූ බව ද පෙන්වා දෙයි.