සුජීවගෙන් ප්‍රකාශයක් ගන්න සීඅයිඩීය සැරසෙයි


(මනෝප්‍රිය ගුණසේකර)

පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගමෙන් චෙක්පත් මගින් මුදල් ලැබුණේ කුමකටද යන්න පිළිබඳව රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගෙන් තොරතුරු දැනගැනීම සඳහා ඉදිරි දින කීපය තුළ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිසිය කටයුතු කරන බව වාර්තා වේ.

සුජීව සේනසිංහ මහතා මෙන්ම පර්පෙචුවල් ට්‍රෙසරිස් ආයතනයෙන් මුදල් ලබාගත් තවත් දේශපාලනඥයන් පිරිසකගෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය කටයුතු කරමින් සිටින බවද දැන ගන්නට තිබේ.


බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් අතිශය රහසිගත ඉතාම සංවේදී මූල්‍ය තොරතුරු පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගමට ලබා ගැනීම සඳහා දේශපාලනඥයින්, බැංකු නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් විශාල පිරිසකට පර්පෙචුවල් ට්‍රෙසරිස් ආයතනය මුදල් ලබාදී ඇති බවට ලැබුණ තොරතුරුවලට අනුව සිදුකළ පරීක්ෂණවලදී මෙලෙස මුදල් ලබාගත් අය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රාශියක් රහස් පොලිසිය මේ වනවිටත් හෙළිකර ගෙන ඇති බව සඳහන්වේ.


එලෙස චෙක්පත් මගින් මුදල් ලබාගත් අය සහ එම චෙක්පත් මාරු කරගෙන ඇත්තේ වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් බව අනාවරණය වී ඇති අතර එසේ මාරු කරන ලද මුදල් නිශ්චිත පුද්ගලයින්ට ලබාදී ඇති බවද වාර්තාවේ. එම සිද්ධිවලට සම්බන්ධ සියලු දෙනාගෙන්ම රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට බලාපොරොත්තුවන බව වාර්තාවේ.