සීනි මිශ්‍රකර තේ කර්මාන්තයම වැනසීම


ආහාර පාන ඇතුළු සියලුම නිෂ්පාදනයන් බොහෝවිට විවිධ වංචනික ක්‍රමවලට ගොදුරු කිරීම මෑත කාලය පුරා බෙහෙවින් පෙන්නුම් කරනු ලබන්නකි. එදිනෙදා පරිභෝජනයට ගන්නා ආහාර කල් තබා ගැනීමට විවිධ රසායනික ද්‍රව්‍ය යොදන බවට තොරතුරු වාර්තා වී ඇත. නරක් නොවී කල් තබා ගැනීමට තවත් රසායනික ද්‍රව්‍ය යොදන බව සඳහන් වේ. අපේ  අපනයන භෝගයක් වූ තේ බරින් වැඩිකර ගැනීම සඳහා රසායනික ග්ලූකෝස් දියරයක් හෝ සීනි මිශ්‍ර කරනු ලබන බව අනාවරණය වී ඇත. 


 තේ අපේ රටට විශාල වශයෙන් ආදායම් ලබා දෙන වගාවකි. ගිය වසරේදී තේ කිලෝ ග්‍රෑම් 288984 ක් පිටරට යවා ඇති තර එයින් රුපියල් මිලියන 233338 ක වටිනාකමක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 


මෙයින් කිලෝ ග්‍රෑම් 281849 ක් කළු තේ වශයෙන් සඳහන් වේ. මේවා තොග වශයෙන් පැකට් වශයෙන් හා මලුවල අසුරා අපනයනය කරනු ලබන බවද සඳහන් වේ. අපේ තේ වැඩිම ප්‍රමාණය මිලදී ගනු ලබන්නේ මැද පෙරදිග රටවල්ය. එයින් තුර්කිය ප්‍රධානය. 


 රටේ මුළු තේ වගා බිම් ප්‍රමාණය හෙක්ටර්යාර් දෙලක්ෂයකට අධික වේ. මේ නිෂ්පාදනකරුවන්ගෙන් බහුතරය නොව සුළු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල තේ නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට බරපතළ හානියක් ලබාදී ඇත. 


 රන් බිජු ලබා දෙන කිකිළිය එකවර බිජු සියල්ල ගැනීමට මරා දමන ආකාරයට වැඩි ලාභ උපයා ගැනීම සඳහා තේ වල බර වැඩි කිරීමට සීනි මිශ්‍රණය කිරීමෙන් රටක් වශයෙන් සිදුකර ගන්නා හානිය අතිශයින් බරපතළය. පසුගිය කාලය පුරාම තේ කිලෝ ලක්ෂ 2 ක පමණ ප්‍රමාණයක් බාල තේ වශයෙන් හඳුනාගෙන ඇත. වසරකට මුළු නිෂ්පාදන ප්‍රමාණය තේ කිලෝ මිලියන 300 ක් සමඟ බලනවිට මෙම ප්‍රමාණය ඉතා සුළු වුවත් එයින් ‘සිලෝන් ටී’ කීර්ති නාමයට සිදුවෙන හානිය නම් අතිවිශාලය. 


විවිධ වංචනික ක්‍රමවලින් ආර්ථික වර්ධනය ලබා ගැනීමට සූදානමින් සිටින කොටස් රටේ කීර්තිනාමය කෙසේ වෙතත් තම පෞද්ගලිකත්වය සලකා කටයුතු කරනු ලබන එකම අවස්ථාව මෙය නොවේ. කලකට ඉහතදී කුරුඳු පොතු අතර ඊයම් ඔබා තිබූ කතාවක්ද අප අසා ඇත. 


 තේවල බර වැඩි කිරීම, පැහැය වෙනස් කිරීම මගින් ලබන ලාභයට මේ වංචනික ක්‍රියාවේ යෙදෙන බව සඳහන් වේ. ඇතැම් තේ කර්මාන්තශාලාවලට මෙලෙස තේ හා සීනි මිශ්‍ර කිරීම සිදුකරනු ලබන බවට අනාවරණය වූ අවස්ථා ඇති බව තේ මණ්ඩලය සඳහන් කරයි. 


 ඉතාම මෑතකදී ආනයනය සඳහා නිෂ්පාදනය කරන තේවලට රසායනික ග්ලූකෝස් දියරයක් මිශ්‍ර කරන රංගල ප්‍රදේශයේ පිහිටි රහසිගත මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි. 
 මෙහි විශේෂත්වය වෙන්නේ රංගල ප්‍රදේශයට අදාළ පොලිසිය නොව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ භට පිරිසක් මෙම වැටලීම සිදුකිරීමයි. 


දේශපාලනඥයන් සමඟ සමීප සබඳතා පවත්වන කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් බව කියන මෙම මහා පරිමාණ තේ කර්මාන්තශාලාව රංගල පොලිස් ස්ථානයට පෙනෙන දුරින් පිහිටා ඇති එකක් බවද කියති. 
මෙයින් පෙන්නුම් කරනු ලබන්නේ ඇතැම් ඉහළ බලධාරින්ගේ අනුදැනුම ඇතිව මෙම වංචනික ක්‍රියාව සිදුවනු ලබනු බවයි. 


 මේ සම්බන්ධයෙන් එනම් තේ වලට විවිධ ද්‍රව්‍ය මිශ්‍රකර බාල තේ නිෂ්පාදනය කිරීම පිළිබඳව විමසීමක් කළෙමි. 


තේ කොමසාරිස් 
ජයන්ත එදිරිසිංහ මහතා- 


තේ නිෂ්පාදන තත්ත්වයෙන් බාල කිරීමට පියවර ගන්නා කර්මාන්තශාලා හිමියන්ට දැඩි දඬුවම් පැමිණවීමට පියවර ගෙන ඇතැයි තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා මෙසේ ද කීය. 
 තේ කුඩුවලට විවිධ බාහිර ද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙන් තේ කුඩු දුර්වර්ණ වීමත් ශුද්‍ර ජීවින් වර්ධනය වීම රසය වෙනස් වීම හා කල් තබා ගැනීමටත් නොහැකිවීම වෙනවා. රටේ තේ කර්මාන්තශාලා හිමියන් බහුතරය මෙවැනි අක්‍රමිකතාවල යෙදෙන්නේ නැහැ. බොහොම සුළු පිරිසක් තමයි මෙවැනි කටයුතුවල යෙදෙන බවට අනාවරණය වී තිබෙනවා. 


 මේ නීති විරෝධි කටයුතුවල යෙදෙන අය පිළිබඳව දැඩි විමර්ශනයකින් යෙදී සිටිනවා. ඒ සඳහා තොරතුරු ලබා දීමට අප දුරකථන අංක දෙකක් රටේ ජනතාවට ලබා දී තිබෙනවා. ඒ අනුව අපට ලැබෙන තොරතුරු පිළිබඳව දැඩි විමර්ශනයක යෙදෙනවා. එවැනි වැරදි කරන අයට දඬුවම් ලබා දීලත් තියෙනවා. ඔවුන්ගේ ලියාපදිංචිය අත්හිටුවනවාට අමතරව එවැනි ක්‍රියාවල යෙදෙන අයට එහි ආදීනව කියා දීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක වෙනවා. 


 ඇතැම් තේ නිෂ්පාදකයින් තත්ත්වයෙන් ඉහළ තේ නිෂ්පාදනය කරනවාට අමතරව තේ ප්‍රමාණය වැඩිකර ගැනීමට මේ උපක්‍රම යොදනවා. අද තේ දළු කිලෝවකට ඉහළ මිලක් ලැබෙනවා. ඒ නිසා වැඩි ආදායමක් ලබා ගැනීමට විවිධ වංචනික ක්‍රියාවල යෙදීමට ඇතැම් අය පෙළඹී සිටින බව පැහැදිලියි. 


සාමාන්‍යයෙන් රටේ වසරකට තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 300 ක් පමණ වෙනවා. එයින් තේ කිලෝ ලක්ෂ 2 ක් වැනි සුළු ප්‍රමාණයක් මෙවැනි වංචනික ක්‍රියාවල යොදවන බව පෙනී ගොස් තිබෙනවා. 
 තේ වල ප්‍රමිතිය රඳා පවතින්නේ නොමේරූ හා නොතැලුණ තේවලයි. එවැනි ඉහළ තත්ත්වයේ තේ සියයට 40 ක පමණ ප්‍රමාණයක් දැනට ලැබෙනවා. එම ප්‍රමාණය සියයට 60 දක්වා වැඩිකර ගැනීමට පියවර ගනිමින් සිටිනවා. එයින් බලාපොරොත්තු වෙන්නේ ඉහළම තේ නිෂ්පාදනයක් ලබා ගැනීමයි. 


බාල තේ කවුරු නිෂ්පාදනය කළත් ඒවා පිටරට යැවෙනවා නම් ඒ බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක්. සාමාන්‍යයෙන් පිටරට යැවෙන තේ වෙන්දේසියට පෙරත්, අපනයනයට පෙරත් පැකට් කිරීමේදීත් පරික්ෂාවට ලක් කෙරෙනවා. පිටරට යැවීමට පෙර තේ පරික්ෂා කිරීම බොහොම සියුම්ව කෙරෙනවා. බාල තේ පිටරට යවා ආපසු එවා ඇති අවස්ථා කීපයක් ද තිබෙනවා. නමුත් පොදුවේ සියල්ල පරික්ෂාවට ලක් කෙරෙනවා. 


කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක 
ලාල් ප්‍රේමනාත්- 


 ඇමෙකානු ඩොලර් මිලියන 60 කට ආසන්න සෙස් අරමුදල තේ කර්මාන්තයේ දියුණුවට යෙදවිය යුතුව ඇති බව කුඩ තේ වතු හිමියන්​ෙග් ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා සඳහන් කරයි. ඒ මහතා මෙසේ ද කීය. 


ශ්‍රී ලංකාවේ කළු තේ බෙහෙවින් ජනප්‍රිය වැඩි ඉල්ලුමක් ඇති තේ වර්ගයක්. නමුත් ඇතැම් කූට ව්‍යාපාරිකයන් වැඩි වාසි ලබා ගැනීමට තේ කුඩුවලට සීනි කලවම් කර අලෙවි කිරීමට පෙළඹී සිටිනවා. මෙසේ සීනි කලවම් කිරීමෙන් තේවල බර වැඩිකර ගැනීමයි අරමුණ. 


නමුත් හැබෑවටම සිදුවෙන්නේ අපේ තේ වල ගුණාත්මක බව අඩු වීමත්, පුස් බැඳීමත්ය. ප්‍රමිතියෙන් බාල තේ පිටරට යැවීමෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය විනාශ වීම ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතිනවා. මෙසේ යවන ලද තේ ආපසු හරවා එවූ අවස්ථා ද තියෙනවා. 


වසර 150 ට වැඩි කාලයක් ශ්‍රී ලංකාවට විශාල ආදායමක් ලබා දුන් තේ කර්මාන්තය දැන් ශීඝ්‍ර පිරිහීමකට ලක්වී සිටිනවා. එයට ප්‍රධානම හේතුව ​ෙම් බාල තේ පිටරට යැවීමයි. ඇතැම් තේ කර්මාන්තශාලාවල තේ කුඩු කලවම් කර බෙදාහරින බවට තොරතුරු ලැබී තිබෙනවා. 


දැන් තේ අපනයනයෙන් අපිට වඩා ඉන්දියාව, කෙන්යාව වැනි රටවල් ඉදිරියට ගිහිල්ල තියෙනවා. අපේ රට ක්‍රමයෙන් පිරිහීමට ලක්වෙමින් පවතිනවා. 


 මේ තත්ත්වයන් මුළුමනින්ම වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ඇතුළු රජය වගකිවයුතු වෙනවා. රජය මේ ප්‍රශ්නයට මුළුමනින්ම මැදිහත් වී අපේ තේ කර්මාන්තය යළි දියුණු කර ගැනීමට පියවර ගතයුතු වෙනවා. 


 වි​ෙශ්ෂයෙන් තේ කර්මාන්තය සඳහා වූ සෙස් බද්ද තේ කර්මාන්තයේ දියුණුවට යෙදවීමට පියවර ගෙන තිබුණා. මේ රජය යටතේ මෙම මුදල් ඒකාබද්ධ අරමුදලට යොමුකර තිබෙනවා. දැන් සිදුවෙන්​ෙන් මෙම මුදල තේ කර්මාන්තයේ දියුණුවට යෙදවීම පසෙකලා වෙනත් රජයේ කටයුතුව         ලට යෙදවීමයි. තේ කර්මාන්තය ගැන කුඩම්මාගේ සැලකිල්ල දැක්විම නිසා මේ පිරිහීම ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතිනවා. 


 තේ කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ලක්ෂ 10 කට අධික පිරිසක් යැපෙනවා. තේ කර්මාන්තයේ පිරිහීම රටේ ආදායමට විශාල බලපෑමක් එල්ල කරනවා සේම එම කර්මාන්තයෙන් ජීවත්වෙන පිරිසගේ ජීවන තත්ත්වයට විශාල බලපෑමක් එල්ල කරනවා. අපේ රටේ ඉහළ ආදායම් ලබන තේ කර්මාන්තය පිරිහීමට ලක්වෙන්​ෙන් රජයේ නොසැලකිල්ල නිසයි. තේ නිෂ්පාදනවල බාල ප්‍රමිතියත් ඇති කරන කර්මාන්තකරුවන් පිළිබඳව දැඩි විමර්ශනයකින් සිටීමටත් එවැනි වැරදි කරනු ලබන අයට දැඩි දඬුවම් ලබා දීමටත් රජය පියවර ගත යුතු වෙනවා. මීට අමතරව තේ පානය පිටරටවල ජනප්‍රිය කරවීමට මීට වඩා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙනවා. එසේ නොකරන්නේ නම් තේ කර්මාන්තයේ පිරිහීම තවත් ප්‍රබල වනු ඇත. 

 

 

 

 

දයාසීලි ලියනගේ