සියලුම ආසනවලට එජාප තරුණ බල මණ්ඩල


(දයාසීලි ලියනගේ)  

සියලුම මන්ත්‍රී ආසනවල තරුණ බල මණ්ඩල පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.  

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තරුණ කණ්ඩායම්වලට අපේක්ෂකත්වය ලබා දීම සඳහා ඔවුන් පුහුණු කිරීම, අවශ්‍ය විෂය දැනුම ලබාදීම ඇතුළු වැඩ කටයුතු රාශියක් සංවිධානය කර ඇතැයි ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කීය.  


සියලුම ආසනවල යොවුන් පෙරමුණේ ක්‍රියාකාරීන් 10 දෙනා බැගින් තෝරාගෙන ඔවුන්ට වැඩමුළු, සාකච්ඡා සම්මන්ත්‍රණ මගින් දැනුම්වත් කිරීමට පියවර ගනු ලබන බව ද ඒ මහතා සඳහන් කළේය.  


පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමද‌ාස හා පක්ෂ සභාපති කබීර් හෂීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේදී මෙම වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බව ද කාවින්ද ජයවර්ධන මහතා කීය.