සැමියා සමග තරහා කිරිකැටි පුතා පිටින් යැවූ අපූරු අම්මා


යාපනයේ මව විසින් සිය කිරි දරුවාට පහර දෙන අයුරු   

 

 

ගෙවී ගිය දින කිහිපයේ ශ්‍රී ලංකාවේ ජනතාවට ඇසීමට දැකීමට ලැබුණ දේ නම් ඉතා අමිහිරිය. නව හැවිරිදි දැරියකට යකෙක් පැන්නීමට යැයි කියා ගැසූ වේවැල් පහරින් දැරිය මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් සිදු වෙද්දි උතුරේ කිරි සප්පයෙකුට මවක් විසින් සතෙකුට සේ තලා පෙළීමත් සිය දරුවන් සමග තවත් මවක් ළිඳට පැනීමෙන් දරුවන් තිදෙනාගේම ජීවිත අහිමි වීමත් යන සිදුවීම් කාගෙත් සිත් කම්පා කරවන්නක් වුණි.   


මේ සිදුවීම් සියල්ලකම පිටුපස මවක් මූලික වීම කැපී පෙනෙන සිදුවීමක් විය. එක් දරුවෙකුට මියයන තුරු පහරදීම අනෙක් දරුවාට ආමානුෂිකව පහරදීම හා තවත් දරුවන් තිදෙනෙකු සමග ළිඳට පැන දරුවන් තිදෙනාගෙම ජීවිත අහිමි කරවීමේ සියලු‍ සිදුවීම් පිටුපස මූලිකයා වී සිටියේ මවය.   


පසුගියදා එකවරම සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සංවේදී වීඩියෝ පටයක් සැරිසරනු ලැබීය. විදෙස්ගතව සිටි පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය හරහා අදාළ සංවේදී වීඩියෝ පටය මුදා හරිමින් කියා තිබුණේ කිරිදරුවෙකුට හිත් පිත් නොමැතිව පහර දෙන මේ කාන්තාව සොයාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.   
මාස 09 ක කුඩා දරුවෙකු කාමරයක් තුළ බඩගා සිටින අවස්ථාවේදී සිත් පිත් නොමැතිව අමානුෂිකව කෝටුවකින් පහරදීමෙන් පසුව දරුවාගේ එක් අතකින් ඇදගෙන යන්නේ සියල්ලන් සසල කරමිනි. ඉන් නොනැවතෙන කාන්තාව ඇදගෙන යන දරුවා කාමරයකට දමා කෝටු ප්‍රහාරය දිගටම එල්ල කරද්දී කිසිවක් කරකියාගත නොහැකි වූ කිරි දරුවා යටි ගිරියෙන් කෑගැසීම පමණක් සිදුවීම සියල්ලන් කම්පා කරවීය.   
දරුවාට පහර දෙන අවස්ථාවේ දී එය වීඩියෝගත කරන පුද්ගලයා ද සිත් පිත් නොමැතිව සිනාසෙමින් එය රසවිඳිනා බවක් වීඩියෝව නරඹන්නන්ට හැඟෙන තවත් කරුණක් වූ අතර දරුවාට පහරදෙන අවස්ථාවේ දී තවත් කාන්තාවක් එය නෑසුනු අයුරින් බිම නිදා සිටින ආකාරය ද දැක ගැනීමට හැකි විය.   


මේ වෙන විට ලංකාවේ සියල්ලක්ම මෙන් අදාළ වීඩියෝ පටය නරඹා ඇති බවට නම් නොරහසකි. නරඹන ඕනෑම අයෙකුට නෙතගට කඳුළු පැමිණෙන අතරවාරයේ කුඩා කිරි සප්පයෙකුට හිතක් පපුවක් නොමැතිව අමානුෂිකව පහරදෙන කාන්තාව සොයා යාමට තරම් වූ හැඟීමක් පහළ වීම ද නොරහසකි.   


මාස 09ක් වයසැති මේ කුඩා දරුවාට හිත් පිත් නැති කෝටු ප්‍රහාරය ක්ෂණයකින් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණක් නැරඹීමත් සමග යාපනය පොලීසියට දුරකතන ඇමතුම් නොකඩවා ආවේය. ඒ මේ කාන්තාව සොයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටය.

   
එකෙනෙහි ක්‍රියාත්මක වූ යාපනය පොලීසියේ නල්ලූර් ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් මේ කාන්තාව සෙවීම ආරම්භ කරන ලදී. කෙසේ වෙතත් අදාළ මව විසින් අවස්ථා කිහිපයකදීම දරුවාට පහරදීම හේතුවෙන් අසල්වාසීන්ට එය මහත් වූ කම්පා දනවන්නක් විය. මේ නිසාම මේ කාන්තාව සෙවීමට පොලීසියට අසීරු නොවීය. පොලීසිය විසින් මේ මව සොයනා බවට ප්‍රදේශවාසීහු දැනගත් සැනින් යාපනය පොලීසියට දැනුම් දෙනු ලැබූහ.   


පසුව පොලීසිය සහ ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ නිවසට පැමිණ දරුවාට පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ ඇරඹීය. අවාසනාවකට දරුවාට පහර දෙන්නේ වැදූ අම්මා විසින්මය. එය සියල්ලන් පුදුම කරවන කරුණක් විය ළමයාට පහරදෙන අයුරු නරඹන බොහෝ අය නම් පවසා තිබුණේ දරුවා බලාගන්නා ආයම්මා කෙනෙකු හෝ දරුවාගේ ඥාති කාන්තාවක් මෙලෙස පහර දෙන්නට ඇති බවටය. නමුත් මව විසින්ම මෙලෙස දරුවාට පහර දීම නම් ඇයගේ මානසිකත්වය සිතාගත හැකිය.   
අනතුරුව අදාළ දරුවා පොලිස් හා ළමාරක්ෂණ භාරයට ගැනීමෙන් අනතුරුව දරුවාට පහරදුන් මව ද අත්අඩංගුවට ගැනීමෙන් පසුව එහි අභ්‍යන්තරය අනාවරණය වෙන්නට විය.   

 

පොලිස් පරීක්ෂණ පවත්වමින්...

පොලීසිය විසින් දරවා සහ මව රැගෙන යන අයුරු

 


එහි අභ්‍යන්තරය වී තිබුණේ මුදල්ය. මුදල් හේතුවෙන් මව් සෙනෙහස ද දියාරු වී තිබුණි. මේ කාන්තාව කුවේට් සිට යාපනය අරියාලෙයි මණියන්තෝට්ටම් ප්‍රදේශයට මාස දෙකකට පෙර පැමිණ කුලී ගෙයක වාසය කොට තිබුණි. ඇයගේ සැමියා ද කුවේට් රටේය. සැමියා විසින් මේ කාන්තාවට හා දරුවාට ජීවත් වීමට මුදල් එවන බවට පොරොන්දු වී සිටියත් මුදල් ලබා නොදීමෙන් මේ කාන්තාව වියරු වැටී ඇති බවට හෙළි විය.   
පසුව ඇය විසින් සිය සැමියා රිදවීමට හෝ මුදල් ලබා ගැනීමට යොදන උපාය වූවේ මේ කිසිවක් නොදත් කිරි සප්පයාය. අවස්ථා කිහිපයකදීම පහර දී එය වීඩියෝගත කොට එතෙර සිටින සැමියාට ලැබීමට සලස්වනු ලැබීය. එය සැමියාට තබා බලන කිසිවෙකුට ඉවසිය නොහැකි කරුණක් විය. අනතුරුව සැමියාගේ ඥාතියෙකු විසින් මේ වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැරීමෙන් පසුව මෙම සිදුවීම ලෝකයාට හෙළිවිය.   


කරුණු සොයා බැලූ යාපනය පොලීසිය හා නල්ලූර් ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් මව හා දරුවා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දරුවාත් මවත් මාර්තු 09 වැනිදා දක්වා පරිවාස භාරයේ තැබීමටත් මවගේ සහ බිලිඳාගේ ඩී.එන්.ඒ. පරික්ෂණයක් ලබා ගැනීම මෙන්ම මවගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කරනු ලැබීය.   


මේ අතරවාරයේ කිරි දරුවාට පහරදෙන අයුරු වීඩියෝගත කළ මවගේ මස්සිනා කෙනෙකු හා එම අවස්ථාවේ නිදා සිටි කාන්තාවක් ද අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය විසින් කටයුතු කරන ලදී.   
එලෙසින්ම පසුගියදා කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ 30 හැවිරිදි මවක් සිය අවුරුදු 02, 05, සහ 08 යන වයස්වල පිරිමි දරුවෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකු සමග ළිඳකට පැනීමෙන් දරුවන් තිදෙනාගෙම ජීවිත අහිමිව තිබුණේ ද පවුල් ආරවුලක් හේතුවෙනි.   


මේ මව විසින් තමන්ට සැමියාගෙන් සහ නැන්දම්මාගෙන් සිදුවන වධ හිංසා ඉවසීමට නොහැකි බව පවසා දරුවන් තිදෙනා සමගින් සියදිවි හානිකර ගැනීමට තීරණය කොට තිබුණි.   


මේ සියලු‍ සිදුවීම් පවුල් සංස්ථාවේ බිඳවැටීම්ය. මව, පියා, දරුවන් එකිනෙකා අතර බැඳීම්, හැඟීම් හා ජීවිතය පිළිබඳව අනවබෝධය යන කරුණු එක්තැන් වීමෙන් අපේ රටේ සිදුවීම් ගොන්නක් පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබුණි. වැරැද්ද කාගෙද කොහෙද විසඳුම කුමක්ද යන්න වගකීම යුතුකම සියල්ලන්ටම ඉතිරිය. 

 

 

වන්නි රොමේෂ් මධුෂංඛ