සහල් හිඟයි නම් මම මවන්නද?


ප්‍රකට ව්‍යාපාරික  ඩඩ්ලි සිරිසේන

සහල් මිල වැඩි වුණේ ඩඩ්ලි සිරිසේනගේ ‘සහල් මාෆියාවෙන්ද?’

 

  • ඉල්ලුම වැඩිවෙනකොට සහල් හිඟයි
  • අපි අවුරුද්ද පුරාම වී ටික එක දිගට බෙද‌ා හරිනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. හරිනම් අපිට මේකට ගෙවන්න ඕනෑ
  • මම දේශපාලනයට එයි කියලා මෙයාලා බයවෙලා ඉන්නේ
  • සහල් ස්ටොක් එකක් තිබුණා නම් මේ ප්‍රශ්නය නෑ

 

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු  මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරකු ද වන සහල් ව්‍යාපාරයේ ඉහළින්ම නම කියැවෙන ඩඩ්ලි සිරිසේන මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් වී ඇති සහල් අර්බුදය පිළිබඳ ඉරිද‌ා ලංකාදීපය සමඟ කළ සාකච්ඡාවකි මේ. 


මොකක්ද මේ ඩඩ්ලි සිරිසේනලගේ හාල් මාෆියාව කියලා හැමෝම කියන කතාව?  


 මම ක්‍රමවත්ව වැඩ කරන මිනිහෙක්. ඒක මට ඕනෑ ක්‍රමවත්භාවය නෙවෙයි. ඒ රටට ඕනෑ ක්‍රමවත් භාවය. අන්න ඒ විදියට ක්‍රමවත්ව වැඩ කරන මිනිහෙකුට මාෆියාව කියලා ආමන්ත්‍රණය කිරීම නිසා මේ රටට නුදුරේදීම ඒකෙ ප්‍රතිඵල භූක්ති විඳින්න හම්බ වේවි.  


හාල් අර්බුදයක් ද නැද්ද එතකොට රටේ?  


තියෙනවා. ලෝක වෙළෙඳ න්‍යායක් තියෙනවා ඉල්ලුම හා සැපයුම අතර වෙනස කියලා. ඉල්ලන ප්‍රමාණයකට සැපයුම නැත්නම් ඒකෙ මිල වැඩි වෙනවා. ඉල්ලුමට වැඩිය සැපයුම තියෙනවා නම් ඒ මිල අඩු වෙනවා. මේක ලෝක වෙළෙඳ සම්මතයක්. ඒක වෙනස් කරන්න ඔබටවත් මටවත් බෑ. දැන් තියෙන ප්‍රශ්නෙ මොකක්ද? හාල් හිඟකමනේ. එහෙනං කරන්න ඕනෑ සහල් නිෂ්පාදනය වැඩි කරන එක. ඒකට අවශ්‍ය වී වර්ග නැතිනං මම ඒක මවන්න ද? හැම දෙයක්ම පාලනය කරද්දී නියාමනයක් තියෙන්න ඕනෑ. අපිටත් ඒකට අකමැති වෙන්න බෑ. ඒ ගැන වගකීමක් අපිට තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්ක එතුමා ජනාධිපති වෙන්නත් කලින් මෙන්න මේ නියාමන ක්‍රියාවලිය ගැන කීප අවස්ථාවක මම කතාබහ කරලා තියෙනවා. මම එතුමා එක්ක වැඩිපුර කතා කරල තියෙන්නෙත් එච්චරයි.

  
මොකක්ද ඔය කියන නියාමනය?  


වී නිෂ්පාදනය වැඩි කරන්න ඕනෑ. හිඟයක් ඇතිවුණු වෙලාවට පාවිච්චි කරන්න ‘බෆර් ස්ටොක්’ එකක් තියෙන්න ඕනෑ. මදි නම් රටින් ගේන්න ඕනෑ. මදිනම් වෙන කරන්න දෙයක් නෑ. ඒක තමයි නියාමනය. මේක නිසියාකාරව සිද්ධවීම තමයි නියාමනය. රටක දෙයක් සිදුකිරීමේදී ඒ දේ හරියාකාරීව කිරීම, ඒ දේ කරන පුද්ගලයගෙ වගකීම සහ යුතුකම. ඒක මම සීයට සීයක් පිළිගන්න සහ ක්‍රියාත්මක කරන කෙනෙක්. ඒත් හොරෙක්, මාෆියාකාරයෙක්, වංචාකාරයෙක් විදියට මට චෝදනා කරනවා සමහරු. ඒත් ඒ චෝදනාව කිසිම පදනමක් නැති දෙයක් කියලා රටේ බහුතර ජනතාව දැන් තේරුම් අරන් තියෙනවා.  


හාල් ඒකාධිකාරයක් ඔබ සහ තවත් කීප දෙනෙක් පවත්වගෙන යනවා කියන චෝදනාවෙන් එහෙම ලේසියෙන් ගැලවෙන්නෙ කොහොමද?  


මේ රටේ ව්‍යාපාරයක් ඉහළම මට්ටමට මෙහෙයවපු නිසා තමයි අපිට ඔය චෝදනාව එන්නේ. හාල් ව්‍යාපාරය විතරක් නෙවෙයි වෙනත් ව්‍යාපාරයක් පිළිබඳව වුණත් තත්ත්වය ඕකයි. අද මිනිස්සු හුරුවෙලා තියෙනවා වඩා ක්‍රමවත්ව සහ පහසුවෙන් හොඳ දේ අරගන්න. අද දෙයක් මිලදී ගන්න ගිහාම ‘කොලිටිය’ ගැන හරියට බලනවා. අද අපිට මේ මාෆියාවක් ගැන කරන චෝදනාව ගුණාත්මක දෙයක්ම හොයන පාරිභෝගිකයන්ට කරන මානසික බලපෑමක්. විශේෂයෙන් ආහාර මිලදී ගැනීමේදී මේ ගුණාත්මක තත්ත්වය වැදගත්. ගුණාත්මකව දෙයක් පාරිභෝගිකයන්ට දෙන්න උපරිමව කැපවෙන අපි වගේ අයට බොරු චෝදනා එල්ල කිරීම අර බුද්ධිමත් පාරිභෝගිකයාට කරන බලපෑමක්. ප්‍රකට ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර බංකොලොත් කරන්න යම් යම් බලවේග හැමද‌ාම රටේ ක්‍රියාත්මක වුණා. මේ කරන වැඩේ බරපතළකම ඒකට හවුල්වෙච්ච අයට ඉතාම ඉක්මනට අවබෝධ වේවි.  


රටේ හාල් මිල ඔබ ඇතුළු ඔය කියන ප්‍රධාන හාල් ව්‍යාපාරිකයින් හිතුමතේ පාලනය කරනව කියලත් චෝදනාවක් තියෙනවා?  


රටේ හාල් මිල තීරණය කරන්නේ අපි නෙවෙයි. හාල් මිල තීරණය කිරීමේදී ප්‍රධාන පාර්ශ්වයක් තමයි අපි. මිල වෙනස් වීමත් එක්ක හාල් මිල ඉහළ පහළ යනවා. ඒක මට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වී මිලට අනුව හාල් මිල තීරණය කිරීමට අපි හවුල් වෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒත් ඒක අපිට ඕනැ ඕනැ හැටියට කරන දෙයක් නෙවෙයි. එහෙම කරන්න බෑ. අපිත් කරන්නේ ව්‍යාපාරයක්.  


ලංකාවේ හාල් ව්‍යාපාරයේ උඩින්ම ඉන්නේ කවුද ඔබ දන්න හැටියට?  


රටේ බොහෝ දෙනා තීරණය කරලා තියෙන්නේ ඒ මම කියලනේ. ඒකෙනේ මට මේ තරම් ගහන්නෙත්. මේ වෙලාවෙ මම ඉතාම වගකීමෙන් දෙයක් කියන්න කැමැතියි. මේ වෙලාවෙ රටේ තියෙන ලොකු ප්‍රශ්නෙ මේ වී හාල් ප්‍රශ්නෙ නම් මේකට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා මම නම් මම කැමැතියි මේ ගැන තීරණයක් ගන්න. ඒක කාටවත් කරන තර්ජනයක් හෝ අභියෝගයක් නෙවෙයි. මම සූදානම් මගේ ජීවිත කාලයෙ වැඩි ප්‍රමාණයක් කැප කරල ගොඩනගා ගත්තු මගේ මේ හාල් මෝල රජයේ නියමිත තක්සේරු මුදල මට ගෙවලා රජයට පවරා ගන්නවට. එහෙම නම් හෙට උදේ මේ හාල් මෝල මම ආණ්ඩුවට දෙනවා. එතකොට මේ කියන ප්‍රශ්නෙ ඉවරයිනේ. හාල් අර්බුදයේ ප්‍රධාන වගකිවයුත්තා ඩඩ්ලි සිරිසේන නම් මම මේ කියන අභියෝගය අරගෙන මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න පුළුවන්. මම ඒකට සූදානම්. මේක විහිළුවට කියන කතාවක් එහෙම නෙවෙයි. වගකීමෙන් කියන්නේ. රට වෙනුවෙන් මම ඒකට එකඟයි. මම මගේ සේවක කණ්ඩායමත් ඕනෑනම් දෙන්නම්. මමත් මගේ සේවය අවශ්‍ය නම් දෙන්න සූදානම්. මේ ප්‍රශ්න ඒ විදියට වුණත් විසඳන්න මම සූද‌ානම්.  


සමහර කියන විදිහට හාල් තොග හංගගෙන බොරු හිඟයක් මවන්නෙ නැද්ද ඔබලා එතකොට?  


හාල් ව්‍යාපාරිකයින් විදියට අපි වගකීම් දෙකකට බැඳිලා ඉන්නවා. එකක් ගොවියාගේ වී මිලදී ගැනීම. ඒක අපි අවුරුද්දේ දවස් තුන්සිය හැටපහේම නොනවත්වාම කරනවා. ඒ වගේම රට පුරා සහල් බෙද‌ාහැරීමට අපි බැඳිලා ඉන්නවා. මේකෙ වාණිජ අරමුණක් තිබුණාට සේවයකුත් තියෙනවා. මේක වී තියෙන කාලෙට කොටල බෙදන එකක් විතරක් නෙවෙයි. මේක වසර පුරා එක දිගට ගලාගෙන යන ක්‍රියාවලියක්. හරි නම් මේකට අපට ගෙවන්න ඕනෑ.  


කවුද ආණ්ඩුව ද?  


නැත්නම්. ආණ්ඩුව තමයි. 

 
ඒක මාර වැඩක්නේ? මොකටද ආණ්ඩුව ගෙවන්නෙ?  


ඇයි මම එහෙම කියන්නේ? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ සම්මත කරුණක් තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටක් නම් ඒ රටේ බලයේ පවතින රජය මාස හයකට අවශ්‍ය ආහාර තොග ගබඩා කර තිබීම රජයේ වගකීමක් කියලා. ඉස්සර ආහාර දෙපාර්තමේන්තුවෙන් මේව කෙරුණා. අත්‍යවශ්‍ය ආහාර වර්ගවල තොග ගබඩා කරලා තිබුණා. අද ඒ වගකීම ඉෂ්ට කරන්නේ අපි. අපි ළඟ තියෙන හාල් තොග අල්ලගෙන අපි හාල් හංගගෙන ඉන්නවා කියලා මෝඩ කතා කියනවා. අපි තමයි රජයේ වගකීමත් කරන්නේ. මේ හාල් තොග හංගගෙන අපි කනව ද? නෑ. මේකට අපිට විශාල වියදමක් තියෙනවා. අපි බැංකු පොලී ගෙවාගෙන බොහොම අමාරුවෙන් මේ ව්‍යාපාර කරන්නේ. විශේෂඥ දැනුම තියෙන සේවක කණ්ඩායමක් අපේ ව්‍යාපාරවල වැඩ කරන්නේ. ඒ හැම දෙනාම නඩත්තු කරන්න ඕනෑ ඒවාට අපි වියදමක් යනවා. අද අපි සේවක හිඟයකට මුහුණපාලා තියෙනවා. මේවා ගැන ඔය චෝදනා කරන කවුරුවත් කතා කරන්නේ නෑනේ. මම සැලසුම් කරපු අර සයිලෝ ව්‍යාපෘතියටත් අද ගහනවා. ඒක මම දුරදිග බලලා කරපු සැලසුමක්. මිනිස්සු වැඩට හොයාගන්න බැරි අමාරු තත්ත්වය නිසා අපිට සිද්ධ වෙනවා විකල්පවලට යන්න. මොකද ඔය අපිට ගහන්න බලාගෙන ඉන්න අය එනව ද අපේ හාල්මෝලෙ වැඩ කරලා දෙන්න.? අපි වගේ ව්‍යවසායකයින් වට්ටලා රටවල් දියුණු කරන්න හිතනවා නම් ඒක තරම් අනුවණ ක්‍රියාවක් තවත් නෑ.  


ඔබ මේ හාල් ප්‍රශ්නෙ ප්‍රධාන කොටස්කාරයෙක් කියලා ඔබට එන චෝදනා ප්‍රතික්ෂේප කරනවනේ. හැබැයි ඉතිං ගින්නක් නැතුව දුමක් නෑනේ. එහෙම නැත්තං ඔය කියන විදියට කාට ද ඩඩ්ලි සිරිසේනට ගහන්න ඕනෑ  


දේශපාලනඥයො තමයි වැඩිපුරම මට ගහන්නේ. ඒ අයට තමයි මට ගහන්න ඕනෑ වෙලා තියෙන්නේ. විශේෂයෙන් පොළොන්නරුවෙ සමහර දේශපාලනඥයො තවත් සමහරු මාව විවේචනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ අය කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මට ගහනවා. එයාලා දන්නේ කතා කරන්න විතරයි. වැඩ බෑ. වැඩකරන මිනිහෙකුට වැඩ කරන්න දෙන්නෙත් නෑ.  


කවුද ඔය කියන පොළොන්නරුවෙ දේශපාලකයා?  


හැම දෙනාම නෙවෙයි. මමම උදවු කරලා ඉස්සරහට ගත්තු සමහර උන් තමයි අද මට පහර දෙන්නෙ. ඒගොල්ලන්ට තියෙන්නේ දේශපාලන ප්‍රශ්න. ඊළඟට පොළොන්නරුවෙ දේශපාලනය ගැන එයාලට බය තියෙන්නේ. ඊළඟ ආණ්ඩුවේ ඇමැතිකම ගැන එයාලා හිතන්නේ. ඒ ගනුදෙනු එයාලා බේරගන්න ඕනෑ. මම දේශපාලකයෙක් නෙවෙයිනේ. ඇයි මට බයවෙලා මට මඩ ගහන්නේ? ඔය කියන දේශපාලකයට තියෙන ලොකුම බය මම රාජපක්ෂලා එක්ක තියෙන හිතවත්කම.  


මොකක්ද ඔය බය ඩඩ්ලි සිරිසේන ​දේශපාලනයට ඒවි කියල ද?  


ඔව්. ඒ ගැන තමයි මෙයාලට ලොකුම බය තියෙන්නේ. මම ව්‍යාපාරිකයෙක්. මම දේශපාලනය කරන්නේ නෑ. මට දේශපාලන අරමුණු ඇත්තෙත් නෑ. හැබැයි මට කරනව නම් බැරිත් නෑ. මම දේශපාලනයට ආවොත් ඔයගොල්ලන්ට අමාරු වෙනවා ඡන්ද ගන්නත්. මම දේශපාලනය කළොත් ඒකත් ලස්සනටම කරනවා. ඒක මට බැරි නෑ.  


එතකොට දැන් මේ රටේ තියෙන හාල් ප්‍රශ්නෙට මොකක්ද කරන්නේ? බෝලෙ එකිනෙකාට පාස්කර කර ඉන්න එක ද වැඩේ?  


පහුගිය රජයෙන් වී වලට මිලක් නියම කළා. නාඩු කිලේ එක රුපියල් 38 කටත් සම්බා කිලෝ එක රුපියල් 41 කටත් කීරි සම්බ රුපියල් 50 කටත් කියලා. ගොවියො මේකෙදි බැලුව තමන්ට වැඩිපුර මුදලක් හම්බ කරන්න පුළුවන් මොනවයින් ද කියලා. ඒක නිසා නාඩු වැඩ කරපු ගොවියොත් කීරි සම්බාවලට මාරුවුණා. ඒකෙන් නාඩු හිඟයක් ආවා. අපේ රටේ සාමාන්‍ය ජනතාව වැඩිපුර පරි​භෝජනයට ගන්නේ නාඩු සහල්. කීරි සම්බා කන්නේ යමක් කමක් තියෙන ආර්ථික මට්ටම ටිකක් වැඩි අය. ඒකයි මෙතන ප්‍රශ්නය. ගොවියො තමන්ගේ ආද‌ායම ගැන හිතලා කීරි සම්බාවලට ගියා. නාඩු හිඟයක් ඇති වුණා. අපේ අර සයිලෝ පුරවල තියෙන්නේ කීරි සම්බාවලින්. මේවට කිසිම නියාමනයක් නෑ. හැමෝම චෝදනා කරන්නේ මට. ගහන්නේ මට. මාෆියාවක් ගැන කිය කියා බණින්නේ මට. ගොවියොත් ඉලක්ක කරගෙන මේ පිළිබඳව නියාමනයක් ඕනෑ. ගමකට ඉන්නවනේ ග්‍රාමසේවකලා. ගොවි නියාමකලා සමෘද්ධි නිලධාරීන්වගේ ඕනෑතරම් අය. මේ අයට පුළුවන් මේ වැඩේ කරන්න ගම් මට්ටමෙන්.  


ගොවියො වගා කරන්න ඕනෑ වී වර්ග තීරණය කරන්නත් රජය මැදිහත් වෙන්න කියල ද ඔබ කියන්නේ?  


ගොවියාට රජයෙන් වතුර ටික, පොහොර ටික දෙනව නම් මේ ගැන නියාමනයක් කෙරුවම මොකද? මම කියන්නේ රජය ගොවියන්ට තර්ජනයක් කරල අහවල් දේ වගා කරපල්ලා කියන්න ඕනෑ කියල මම කියන්නේ නෑ. ඒත් රටේ හාල් ප්‍රශ්නයේ හේතුව හොයලා ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනෑ මේ වැඩේ කෙරුවෙ පහුගිය ආණ්ඩුවෙන්. ඒගොල්ලො තමයි ඉතිහාසයේ පළමු වතාවට වී වලට මිලක් නියම කරල මේ අවුල ඇති කළේ.  


පහුගිය ආණ්ඩුව කියන්නේ ඔබේ සහෝදරය ජනාධිපතිවෙලා ඉඳපු ආණ්ඩුවනේ?  


ඔව්. ඒ ආණ්ඩුවෙ ජනාධිපතිවරයා මගේ සහෝදරයා තමයි.  


ඔබට තිබුණානේ මේ ගැන සහෝදරයාට කියන්න?  


එතුමා මේ ගැන අපිත් එක්ක කතා කළේ නෑ මොකුත්. කතා කළා නම් පැහැදිලි කරල දෙන්න තිබුණා. ඒකනේ එතුමට එහෙම වුණේ.  


වී ගොවියයි ඔබයි අතරේ තව කවුද මේ වී මිලදී ගැනීමේ අතරමැදියො?  


අපි කෙළින්ම ගොවියන්ගෙන් වී මිලදී ගන්නේ නෑ. මම විතරයි එහෙම කරන්නේ. අනිත් හැමෝම වගේ වී ගොවියා ළඟට ගිහින් වී මිලදී ගන්නවා. ගොවියගේ වී අලෙවි වෙන රටාවක් තියෙනවා. මූලික වශයෙන් ගොවියන්ගේ වී ගමේ ඉන්න වී මුදලාලි ගන්නවා. පිටින් යනව ලොරි ගමේ වී මුදලාලි ළඟට. ඒ ලොරි මුදලාලි තමයි අපේ මෝල්වලට හාල් ගෙනත් දෙන්නේ. තව මේ අතර මැද බ්‍රෝකර්ලත් ඉන්නවා. මේ බ්‍රෝකර්ලා හරහා තමයි අපිට වී ගන්න වෙලා තියෙන්නේ. ගොවියගේ වී ටික අපි ළඟට එද්දී තුන් දෙනෙක්ට ලාභ ගිහින් තියෙනවා. අපි ඔය කවුරුත් කෑ ගහන විදියට දෙකයි පනහට වී මිලදී ගෙන නෑ. අපිට එද්දී සෑහෙන මිලක් වෙලා. අපි ගන්නේ තනිකර තෙත වී. මීටරේ කටුව කඩල යන තරමට තෙත වී අපිට එන්නේ. ඉස්සර වගේ ගොවියෝ වී කමතේ වේළන්නේ නෑ. මැෂින් එකෙන් ගොයම් කපද්දී තමයි මේ ප්‍රශ්නය එන්නේ. අපි ළඟ තියෙන මැෂින්වලට පිංසිද්ධ වෙන්න මේවා වේළලා ගන්නවා. එහෙම නැත්තං ගොවියන්ට ඔය වී දවසකට දෙකකට වඩා තියාගන්න බෑ. ගොවියන්ගේ ලාභ පාඩු ගැන මම කතා කරන්න යන්නේ නෑ. ඒ අයට වී අස්වැන්න ඉවර වුණාම අනිත් කාලේ ආද‌ායමක් වෙන වැඩපිළිවෙලක් තියෙන්න ඕනෑ. ඒකට රජය මැදිහත් වෙන්න ඕනෑ. වී කිලෝ එකේ මිල පස්සෙ පන්නනවාට වඩා රජයකට මේ ප්‍රශ්නෙ කළමනාකරණය කරන්න තව ගොඩක් වැඩ තියෙනවා කරනව නම්. අපිව පාලනය කරන්න එනවට වඩා ඒකයි වැදගත්.  


ඔබ කියන්නේ ඔබල පාලනය කරන්න ආණ්ඩුව එන්න ඕනැ නෑ කියලද?  


නෑ. මම එහෙම කියන්නේ නෑ. මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක ඉතා සහයෝගයෙන් වැඩ කරන්න කැමැතියි. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනෑ.  


මේ හාල් ප්‍රශ්නෙ ගැන ගෝඨාභය ජනාධිපති ඔබත් එක්ක හෝ ඔබ ඔහුත් එක්ක කතා කළා ද?  


මම එතුමට කතා කළා. කතා කරලා මේ හාල් ප්‍රශ්න ගැන කිව්වා. ඊට පස්සෙ වෙලාවක එතුමත් මට කතා කළා. එතුමට ප්‍රශ්නයක් තියෙනවා මම මෛත්‍රිපාල සිරිසේනගෙ සහෝදරය වුණාට මම එතුමට ඉතාම හිතවත් කියලා. මොකද සමාජ මතයක් ඇතිවෙලා තියෙනවා මේ තියෙන හිතවත්කම මත ජනාධිපතිතුමා මට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතිවෙයි කියලා. මම ඒ නිසා ජනාධිපතිතුමාට කතා කරල ඉල්ලීමක් කළා. කරුණාකරල මගේ මෝලට ඇවිත් මේ ගැන හොයා බලන්න කියලා. එතුමට කාර්යබහුල නිසා එන්න වෙන්නෙ නෑ කියලා කිව්වම මම කිව්වා වගකිවයුතු නිලධාරීන් කවුරු හරි එවලා මේ ගැන පරීක්ෂා කරන්න කියලා. ඒ අනුව පොලිසියෙන් ආවා, පාරිභෝගික අධිකාරියෙන් ආවා. තවත් කණ්ඩායමක් ආවා. වෙළෙඳ අමාත්‍යාංශයේ හෝ ජනාධිපති කාර්යාලයේ වෙන්න ඇති. ඒ අය අපේ මෝල් සියල්ල නිරීක්ෂණය කළා. අපි ඔවුනට ඒකට ඉඩ සැලසුවා. අපි ඔවුන්ට මේ ගැන පැහැදිලි කළා. ඔවුන් පිළිගත්තා ඇත්ත මොකක්ද කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා මට කතා කළා. ඒ වගේම අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගෙදරදී පැයක් විතර එතුමා මාත් එක්ක මේ ප්‍රශ්නෙ සාකච්ඡා කළා. එතුමා මට පොරොන්දු වුණා මේ ගැන ජනාධිපතිතුමාව දැනුම්වත් කරන්නම් කියලා. මම ඔවුන් එක්ක එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරලා මේ ප්‍රශ්නෙ විසඳන්න සූද‌ානම්.

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි