සහනයක් නොලැබුණොත් ළඟදීම කිරිපිටි හිඟයක්


කිරිපිටි සමාගම් අනතුරු අඟවයි

 

(මහින්ද නිශ්ශංක) 


කිරිපිටි මිල වැඩි කිරීමට අවසර නොදීම නිසා දැනට ඇණවුම් කර වරා​යේ ගොඩ බා තිබෙන කිරිපිටි තොගය වරායෙන් නිදහස්කර නොගැනීමට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් ඊයේ (19) සාමුහික තීරණයකට එළඹ තිබේ.

කිරිපිටි කිලෝවක් රුපියල් 100කින් ඉහළ දැමීමට සමාගම් පාරි​භෝගික අධිකාරියෙන් දිගින් දිගටම ඉල්ලා සිටිය ද එයට අවසර නොදීම සහ සමාගම් අධික පාඩු ලැබීම ​හේතුවෙන් මෙම තීරණයට එළඹි බවත් මෙයට අමතරව මේ සතියේ සිට කිරිපිටි අලුතින් ගෙන්වීම නතර කිරීමට ද තීරණයක් ගත් බව ද සමාගම පවසයි. 


මේ අනුව ලබන පෙබරවාරි මාසයේ සිට වෙළඳ පොළේ කිරිපිටි හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද එම සමාගම් පෙන්වා දේ. 


මාස පහකට පෙර 160ක් වශයෙන් පැවති ඇමෙරිකානු ඩොලරය 185 දක්වා ඉහළයාමට අමතරව නිෂ්පාදන හා ඇසුරුම් වියදම් වැඩිවීම, සේවක වැටුප් ඉහළයාම යනාදිය හේතුවෙන් සමාගම් මාස හයක පමණ සිට අධික ලෙස පාඩු ලබන අතර සමාගම් ලබන පාඩුව නිසා බැංකුවලින් ණයදීම ද ප්‍රතික්ෂේපකරන බවත් මේ නිසා සමාගම් පවත්වාගෙන යාමේ බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බවත් පවසයි. 


කිරිපිටි ආනයනය කිරීමක දී සෑම කිලෝවක් සඳහාම රුපියල් 178ක බදු මුදලක් රජයට ගෙවන බවද පවසන සමාගම් කිලෝවක් සඳහා රුපියල් 100 ක වැඩිවීමක් ලබාදීමට නොහැකිනම් දැනට අයකරන සියයට 15ක වැට් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන ලෙසද සමාගම් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. 


දේශීය කිරි අවශ්‍යතාවෙන් සියයට 30-35 අතර දේශීය වශයෙන් නිෂ්පාදනය කරන අතර සියයට 65ක් පමණ ආනයනය කරන බව මහ බැංකු වාර්තා අනාවරණය කරයි.