සහන අස්සේ දේශපාලනයත්


පැෆරල්ට ජනතාවගෙන් පැමිණිලි 64 ක්  

(දයාසීලි ලියනගේ)  

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් දේශපාලන කටයුතු කිරීම පිළිබඳ පැමිණිලි 64 ක් මේ වෙනවිට ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල්හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.  

රජයේ සහනාධාර බෙදාදීමේදී දේශපාලනඥයාගේ නම, පක්ෂයේ ලාංඡනය යෙදීම, රජයේ සහනාධාර සිය පුද්ගලික ධනයෙන් බෙදාදෙන බව හැඟීයන ආකාරයට බෙදාදීම, පාක්ෂිකයන්ට පමණක් බෙදාදීම, ආරක්ෂිත මුඛ ආවරණවල පවා දේශපාලනඥයාගේ නම සඳහන් කිරීම ආදිය සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇතැයිද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.  කො​රෝනා වසංගතය මැඩ පැවැත්වීමට පැනවූ ඇඳිරි නීතිය නිසා අසරණ වූ ජනතාවට රජයේ සහනාධාර බෙදාදීමේදී ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පිරිසක්ම මෙසේ අයථා ලෙස කටයුතු කර ඇති බවද සඳහන් වේ.  


මේ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට හා මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කීය.