සල්ලි ගන්න තෙරපී කාන්තාවෝ තිදෙනෙක් මරුට


  • ලක්‍ෂ හතර හමාරක් බෙදලා
  • තෑගි ගන්න තුන්සීයක් ඇවිත්

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)  

මාලිගාවත්ත, ජුම්මා වජීඩ් මහ පල්ලිය ආසන්නයේ ධනවත්, ව්‍යාපාරියකු විසින් රාමසාන් උත්සවය වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (21 වැනිදා) දහවල් රුපියල් දහස බැගින් මුදල් බෙදීමක් සිදු කරන අවස්ථාවේ ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මියගොස් ඇත.  

තවත් අට දෙනෙකු රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට කීය. 

 
මිය ගොස් ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62, 59 හා 79 වයසේ කාන්තාවන් තිදෙනෙකි.  
දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෙම ධනවත් ව්‍යාපාරිකයා මාලිගාවත්ත මුස්ලිම් පල්ලිය ආසන්නයේ මෝටර් රථ අමතර කොටස් අලෙවි සැලක් පවත්වා ගෙන යනු ලබන බව පොලීසිය කියයි.  


මෙම ව්‍යාපාරිකයා ඔහුගේ සහායකයින් සිව් දෙනෙක් සමඟ එම ස්ථානයට පැමිණ රුපියල් 1000 නෝට්ටුව බැගින් එහි පැමිණ සිටි පිරිස අතර බෙදාදී ඇතැයිද පොලිසියට දැන ගන්නට ලැබී ඇත. ලක්‍ෂ 4 1/2කට ආසන්න මුදලක් මෙසේ බෙදාදීමට ව්‍යාපාරිකයා විසින් ගෙන ආ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. 


දෙහිවල පොලිසියෙන් ඇදිරි නීති බලපත්‍රයක් රැගෙන පැමිණ ඇති මෙම ව්‍යාපාරිකයා, මුදල් බෙදාදීම සිදු කර ඇති අතර පුද්ගලයන් 300කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිට ඇති බවද පොලිසිය කියයි.  
මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනෙක් සැකපිට මාලිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කීය.