සරසවි සහ විද්‍යාපීඨත් රෝගීන්ට වෙන් කරයි


(අජන්ත කුමාර අගලකඩ)   

කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස අවශ්‍ය වුවහොත් විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල සහ අධ්‍යාපන විද්‍යාපීඨවල ගොඩනැගිලිද යොදා ගැනීමට රජය සැලසුම් කර ඇත. 

මීට අමතරව තවත් රජයේ ආයතන ගණනාවක ගොඩනැගිලිද ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොදා ගැනීමට අදාළ ආයතනවල ප්‍රධානින්ගේ එකඟතාව පළවී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ‘ඉරිදා ලංකාදීප’යට පැවැසුවාය.   


කොරෝනා රෝගීන්ගේ වැඩිවීම හමුවේ සෑම දිස්ත්‍රික්කයකම ඇඳන් 1000 බැගින් අලුතින් සූදානම් කරන ලෙස උපදෙස් දී ඇතැයි කී ඇමැතිනී වන්නි ආරච්චි මහත්මිය රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා රෝගීන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කරමින් පවතින්නේ යැයිද සඳහන් කළාය.   


එම මධ්‍යස්ථානවල පහසුකම් පිළිබඳව සොයා බැලීමට මේ සති අන්තයේදී තමාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සියලු දෙනාත් එම මධ්‍යස්ථානවලට යන බවද ඇය කීවාය.   මේ අතර අලුතින් ඇති කෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අලුතින් ඇඳන් 10,000ක් ලබාදීමට ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා භාරගෙන ඇතැයි කී ඇමැතිවරිය නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ඒ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ යැයිද කීවාය. 

 
මේ අතර දෛනිකව කොරෝනා රෝගීන් 2000ක් පමණ වාර්තා වීම හමුවේ මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉකුත්දා ප්‍රකාශ කළේය. 

 
රෝගීන් 17,000ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහල්වල ධාරිතාවද මේ වනවිට ඉක්මවා ගොස් ඇත.