සයිටම් වෛද්‍ය සිසුන්ට කොතලාවල පීඨයේ ඉඩ දෙන්න මව්පිය සංගමය ඉල්ලයි


 

(දයාසීලි ලියනගේ)  
සයිටම් ආයනයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට උපාධියක් පිරිනැමීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල​ෙය් වෛද්‍ය පීඨයට ඇතුළත් කරන ලෙසට දෙමාපිය පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මෙම ඉල්ලීම ජනාධිපතිවරයා විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට යොමුකර ඇතැයි දැනගන්නට ඇත.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විමල් සමරකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම සිසුන් සඳහා ආයතනයක් පිළියෙළ කරන බවට රජය කළ ප්‍රකාශය ඉටු කරන තුරු බලා සිටින බවයි. ඒ සඳහා තීන්දුවක් ගැනීමට ප්‍රමාද වෙන්නේ නම් මෙම සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් කරන ලෙසට ඉල්ලා සිටින බවද ඔහු කීය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් නලින්ද හේරත් මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක ඇතුළත සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳව සංගමයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි.