සමාජයීය වශයෙන් වයිරසය පැතිරයාමේ අවදානමක් නෑ


විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

මේ වෙනවිට මෙරට කොරෝනා වයිරසය එක්තරා දුරකට පාලනය කිරීමට හැකිවී තිබෙන බවත් දැනට සමාජයීය වශයෙන් වයිරසය පැතිරයාමේ තත්ත්වයක් නැති බවත් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය. 

 
ඉරිදා ලංකාදීපය කළ විමසීමකදී වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.   
පලිහවඩන මහත්මිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.   

මේ වෙනවිට අපට හමුවන්නේ කලින් වාර්තා වූ රෝගීන්ගේ ළඟම ආශ්‍රිතයන්. ඔවුන් බහුතරයක් දැනට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය. එම මධ්‍යස්ථානවල සිටින අය අතරින් තමයි බොහෝ රෝගීන් දැනට හමුවන්නේ. පසුගිය සති පහක කාලයක් පුරා අපි දකින්නේ රෝගය එක්තරා මට්ටමකට පාලනය වී ඇති බවයි. ඇතැම් දිනවල එක් රෝගියෙකුවත් වාර්තා වූණේ නැහැ. ඒත් සමහර දවස්වල රෝගීන් 15ක් 16ක් වගේ වාර්තා වුණ අවස්ථා තිබුණා. ඔවුන් අතරින් වැඩිපුර වාර්තා වුණේ ඔවුන්ගේ සෙම සාම්පල ගන්න කළ පරීක්ෂාවලදීය. විශාල පිරිසකගේ සාම්පල ගත්තහම සමහර අවස්ථාවල රෝගීන් 10ක් 15ක් අතර සංඛ්‍යාවක් වාර්තා වුණා.   


පසුගිය සතියේ අපි පුනානි ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගියා. එහිදී එක දවසක දී 300 කගේ පමණ සාම්පල ලබාගෙන පරීක්ෂා කළා. එතනදී ඔවුන් අතරින් 8 දෙනෙකු පමණ වාර්තා වුණා. මඩකළපුව ප්‍රදේශයේ කඳවුරු කිහිපයක ඔවුන් රඳවලා තිබෙනවා. අපිට මුලදීම වාර්තා වුණේ ඉතාලියේ සිට පැමිණ මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්කළ අය අතරින් කිහිපදෙනෙක්.   


අපි බැලු‍වහොත් රෝගීන් ගෙන් 36‌% ක් වගේ සංඛ්‍යාවක් එහෙමත් නැතිනම් වාර්තාවූ රෝගීන්ගෙන් 80 දෙනෙකු පමණ විදේශ රටවල රැකියාවට ගොස් නැවත පැමිණි ශ්‍රීලාංකිකයින්.   


වසංගත රෝග අංශය පැය 24 පුරාම සේවය කළා. ප්‍රථමයෙන් විද්‍යාගාරවලින් කරපු පරීක්ෂණවලින් රෝගියකු බවට තහවුරු වුණාම ඉස්සෙල්ලාම දැනුම් දෙන්නේ වසංගත රෝග විද්‍යා අංශයට. වෛද්‍ය පර්යේෂණායතනය මුලින්ම පර්යේෂණ පටන්ගත්තා. ඊට පසු මහනුවර, ගාල්ල, අනුරාධපුරය වගේ රෝහල්වලත් මේ P.C.R. පරීක්ෂණයට සූදානම් වුණා. මේ වන විට එම පරීක්ෂණ වැඩි කරලා තවත් රෝහල් කිහිපයක පරීක්ෂණ කරනවා. දැනට ඕනෑ තරම් පරීක්‍ෂණ කරන්න පහසුකම් තිබෙනවා. අපි ක්ෂණිකව රෝහල් සූදානම් කළා. මේ වෙන විට රෝහල් රැසක රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්න ලෑස්තියි.   
දැන් අපිට වාර්තා වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආකාරයක්. සමහර අයට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තමයි අද දකින්නේ.   
අපේ රටේ දැනට සමාජීය වශයෙන් මෙම වයිරසය පැතිරයාමේ තත්ත්වයක් නැහැ. ඒක යම්තාක් දුරට හොඳ තත්ත්වයක්. ඇත්තටම කෙනෙකුගෙන් කෙනෙකුට මෙය බෝ වෙන්න පුළුවන්. එක රෝගියකුගෙන් තව දෙදෙනෙකුට හෝ තුන් දෙනෙකුට පැතිරයාමට පිළිවන්. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝවීමේ තත්ත්වය අපේ රටේ අඩුයි. කොහොම වුණත් ඒ අයගෙන් තවත් අයෙකුට රෝගය පැතිරයාමේ තත්ත්වයක් අපි දුටුවේ නැහැ. එහෙම වුණානම් අපට බොහෝ රෝගීන් සංඛ්‍යාවක් මේ වෙන විට වාර්තා වෙන්න ඕනෑ. නමුත් රෝගය සඟවාගෙන සිටින අය සොයා ගන්න වසංගත රෝගී අංශයට ක්‍රමවේදයක් තිබෙනවා ඔවුන්ව සොයා ගන්න. මම දකින ආකාරයට ඔවුන් ඒ තොරතුරු සොයා බලලා සාර්ථකව මේ කටයුතු සිදුකරන ආකාරය. දැන් අප සිටින්නේ. මේ රෝගය වාර්තා වූ පසු ගෙවන පස්වැනි සතිය. ඒ නිසා අපිට අලු‍තින් කියලා රෝගීන් වාර්තා වෙන තත්ත්වයක් නැහැ. ඒක ශ්‍රී ලංකාවටම ආවේනික වූ ක්‍රමවේදයක් මගින් තමයි රෝගය පාලනය කර තිබෙන්නේ.   


ඇඳිරි නීතිය ඉවත් කිරීම රජයට එක පාරටම කරන්න බැරි වෙයි. ඒ සඳහා විශේෂිත වූ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනෑ. කිසිම රෝගියෙක් වාර්තා නොවූ දිස්ත්‍රික්කවල අපට පුළුවන් දිස්ත්‍රික්කය තුළ ජනජීවිතය යථාතත්ත්වයට පත්කරන්න. එක පාරටම සෑම දිස්ත්‍රික්කයකම ඇඳිරි නීතිය ඉවත් කිරීම සුදුසු නැහැ. ඇඳිරි නීතිය ඉවත් කළාම කඩසාප්පු, කර්මාන්ත ශාලා වගේ දේවල් විවෘත කරනවා. එතකොට යළිත් සෙනඟ එක් රොක් වෙනවා. එතකොට යළිත් මේ වයිරසය පැතිර යන්න පුළුවන්. ඒක නිසා අපි බලන්න ඕනෑ. ඒ තත්ත්වය ආරක්ෂා කරගෙන කොහොමද ඇඳිරි නීතිය ඉවත් කරන්නේ කියලා. ඒ නිසා සුදුසු ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ නිසා කලබලයක් නොවී පරිස්සමින් මේ කාර්යයට එළඹෙන්න ඕනෑ. මේ ක්‍රමවේදයකට අනුව සෞඛ්‍ය අංශ එම ක්‍රමවේද හදලා තිබෙනවා. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනෑ.   
මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පසුගියදා පැවැති සාකච්ඡාවේද අවධානය යොමු වුණා. කොහොමද ක්‍රමවත් වැඩපිළිවෙළකට අනුව ඇඳිරි නීතිය ඉවත් කරන්නේ? කොහොමද කාර්යාල විවෘත කරන්නේ? ජනතාව රැස් වෙන එක අවම කරන්නේ කොහොමද? යන ක්‍රමවේදයක් සකස් කරන්නේ කියලා. අපි සාකච්ඡා කළා. මොන වගේ කටයුතු අනුවද අපි ක්‍රියාත්මක විය යුත්තේ. ඒ කියන්නේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට ගේන්න අවශ්‍ය කරන ක්‍රියාකාරකම් මොනවද?   


අපි දන්නවා අපිට මුලින්ම අවශ්‍ය වන්නේ ආහාර ඖෂධ තමන්ගේ අතට මුදල් ලැබීම වගේ දේවල්නේ. ඒ නිසා පළමුවෙන් රැකියා ආරම්භ කිරීම, කඩ සාප්පු විවෘත කිරීම වගේ අත්‍යවශ්‍ය දේවල් පිළිබඳ ප්‍රථමයෙන් අවධානය යොමු කරන්න ඕනෑ. පාසල් විශ්ව විද්‍යාල එකපාරටම විවෘත කරන්න බැහැනේ. එවත් අපි බලන්න ඕනෑ ක්‍රමයෙන් විවෘත කරන්නේ කොහොමද කියලා වෛද්‍යවරිය සඳහන් කළාය.