සන්ධානයේ නායකත්වය භාරගන්න සජිත් සූදානම්


(අජන්ත කුමාර අගලකඩ)   

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනැගෙන සන්ධානයේ නායකත්වය බාර ගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස මහතා කැමැත්ත පළකළ බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.    

නව සන්ධානයේ නායකත්වයට අමතරව මැතිවරණ සටන මෙහෙයවීමේ නායකත්වයත්, සන්ධානයේ මහලේකම්වරයා පත් කිරීමේ බලයත් සජිත් ප්‍රේමද‌ාස මහතාට ලැබෙන නිසා සන්ධානයේ නායකත්වය බාර ගන්නැයි සජිත් පිල නියෝනජය කරන පක්ෂයේ ප්‍රබලයන් හා ඔහු සමග සිටින පක්ෂ නායකයන්ද ඔහුගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද එම ආරංචිමාර්ග කියයි.   


සජිත් ප්‍රේමද‌ාස මහතාගේ කණ්ඩායම නියෝජනය කරන මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර යන මන්ත්‍රීවරුන් දෙදෙනා ඉකුත් බ්‍රහස්පතින්ද‌ා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූයේ ද සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමද‌ාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවක් ඇතිකිරීමේ අරමුණින් බව ද වාර්තා වේ. ඒ අනුව සජිත් ප්‍රේමද‌ාස මහතාත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මෙම සති අන්තයේ හමු වී නායකත්ව අර්බුදය විසඳ‌ා ගැනීමට නියමිතව ඇතැයි ද දැනගන්නට තිබේ.   


 ඉදිරි මහ මැතිවරණය එජාපය ප්‍රමුඛව ගොඩනගන සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමද‌ාස මහතාට ලබා දීමට බ්‍රහස්පතින්ද‌ා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ අතර එය බාර ගන්නේ ද නැද්ද යන්න ලබන බ්‍රහස්පතින්ද‌ාට පෙර දන්වන ලෙසට සජිත් ප්‍රේමද‌ාස මහතාට දැනුම් දීමට ද එහිදී තීරණය කෙරිණි.   


 ඉකුත් බ්‍රහස්පතින්ද‌ා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සජිත් පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගි නොවූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, ඉමිටියාස් බාකීර් මාකර්, රෝසි සේනානායක කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් යැයි ද වාර්තා වේ.   


 එසේ වුව ද වත්මන් නායකත්වයත් අගමැති අපේක්ෂකත්වයත් මැතිවරණයේදී සන්ධානය මෙහෙයවීමේ වගකීමත් ලැබෙන නිසා නායකත්වය බාර ගැනීමට සජිත් ප්‍රේමද‌ාස මහතා එකඟතාවය පළකර ඇති බව ද වාර්තා වේ.