සන්ධාන රජයේ නව ගිවිසුමට සුළු පක්ෂත් අත්සන් තැබිය යුතුයි - අමාත්‍ය මනෝ ගනේෂන්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉදිරියටත් සන්ධාන රජයක් පවත්වාගෙන යන්නේ නම් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සෙසු පක්ෂවලින් ද අදාළ ගිවිසුමට සහය ලබාගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වෙයි.

මේ සම්බන්ධව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දෙමළ ප්‍රගතිශිලි සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය හා ජාතික හෙළ උරුමය සමග සාකච්ඡා කොට එම ගිවිසුමට තම පක්ෂවල අදහස් ද විමසා අස්සන් ලබාගත යුතු යයි එම යෝජනාවේ සඳහන් වෙයි.  


මේ සම්බන්ධව දැනටමත් මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සමග තම පක්ෂය සාකච්ඡා කළ බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.  


ඉදිරියේදී සෙසු පක්ෂ සමග සාකච්ඡා කරන බවත් මෙම ගිවිසුමට පෙර ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රතිසංවිධාන කටයුතු ද කඩිනමින් සිදු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  


දැන් තිබෙන ගිවිසුම එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින ගිවිසුමක් බවත් එම ගිවිසුම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අවසන් වී ඇති අතර එම නිසා ප්‍රධාන පක්ෂ දෙකම නව ගිවිසුමකට එළඹීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර දැරූ 16 දෙනෙකු ඉන් ඉවත් වී ගිය නිසා දැනට ඉතුරු වී සිටින මන්ත්‍රීවරුන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිවිසුමකට එළැඹෙන්නේ නම් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ ද එම ගිවිසුමට අස්සන් කළ යුතු බව මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙයි.