සජිත් එක්ක නව සන්ධානය මේ සතියේ එළි දකී


අලියා සහ හංසයා ලාංඡන දෙකම ඉවතට   

(අජන්ත කුමාර අගලකඩ)   

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය මේ සතියේ දී එළි දැක්වීමට නියමිතය.   


පාර්ලිමේන්තුවේ දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂයක නමක් සංශෝධනය කර නව සන්ධානය නම් කිරීමට නියමිත බවත් ඒ පිළිබඳව පක්ෂ නායකයන් සාකච්ඡා කර තීරණයක් ගෙන ඇති බවත් එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.   නව සන්ධානයේ ලකුණ අලියා හෝ හංසයා නොවන බව කී හෙතෙම මේ සති අන්තයේ රැස්වී ලකුණ සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බව පැවැසීය.   


අලුතින් ගොඩනගන සන්ධානයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන අතර එහි මහ ලේකම් ධුරයට එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම දැනටමත් යෝජනාවී ඇත.   


එජාපය ප්‍රමුඛව ගොඩ නැගෙන නව සන්ධානයට ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ තවත් දෙමළ පක්ෂ කිහිපයක් එකතුවීමට නියමිත අතර එම පක්ෂවල නායකයන් සන්ධානයේ නායකත්ව මණ්ඩලයට පත්වනු ඇත.