සංහිඳියා කාර්යාලයට යළි පණ දෙයි


(අජන්ත කුමාර අගලකඩ)   

යහපාලන ආණ්ඩුව විසින් පිහිටු වන ලදුව දැනට අක්‍රියව පවතින ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය යළි සක්‍රිය කිරීමට රජය තීරණය කර ඇත.   
ඉකුත් යහපාලන ආණ්ඩුව විසින් 2015 අප්‍රේල් මස 8 වැනිදා කැබිනට් තීන්දුවක් මත පිහිටුවන ලද ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ ආරම්භක සභාපතිනිය ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කළාය.   

ඉකුත් 2019 නොවැම්බර් පැවැති ජනාධිපතිවරණයෙන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ 11 දෙනෙකුගෙන් යුත් පාලක මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු එම කාර්යාලයේ කටයුතු අක්‍රියව පවතී.  


එය යළි සක්‍රිය කිරීම සඳහා නව සභාපතිවරයෙකු ඇතුළු 11 දෙනකුගෙන් යුත් පාලක මණ්ඩලයක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයකු අලුතින් පත් කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා වන කැබිනට් සංදේශයක් ද අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.   


ජාතික සමගිය හා සංහිඳියාව වන කාර්යාලය යළි සක්‍රීය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් මෙරට ජනවාර්ගික ආගමික පාරිසරික හෝ වෙනත් සමාජීය ආරවුල්වල දී ආරම්භක අවස්ථාවේ දී මැදිහත් වී ඒවා සමනය කිරීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතුව ඇති බවත් ඇමැති අලි සබ්‍රි මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.   


ඒ අනුව ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ෂර්ලි මහින්ද කුෂාන් ද අල්විස් මහතා පත් කිරීමට රජය තීරණය කර තිබේ.   


එහි පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්, මහාචාර්ය රිස්වි හසන්, මහාචාර්ය එච්.එම්.ඒ.ඩී.එස්.ජේ. කිරිඇල්ල, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ, නීතිඥ සී.ජේ.ජී. රණතුංග නීතිඥ හසන්ති වීරසූරිය, කදිරගාමර් මනෝසේකරම්, නීතිඥ ගයන්ති ගීතාංජලී සූරිආරච්චි දිසානායක, හිටපු කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර යන මහත්ම මහත්මීන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නම් කරනු ලබන නියෝජිතයකු පත් කිරීමට තීරණය කර ඇත.