සංචාරක කේෂ්ත්‍රයේ රැකියා ලක්ෂ එකහමාරක් අවදානමේ


(අජන්ත කුමාර අගලකඩ)  

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් සංචාරක කර්මාන්තය ඇණහිටීම නිසා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු 1,40,713 දෙනකුගේ රැකියාවලට ඍජුවම බලපෑම එල්ල වී ඇතැයි සංචාරක හා ගුවන් සේවා වාර්තා පෙන්වා දෙයි.  

මේ සියලු දෙනාම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක කර්මාන්තයට සම්බන්ධව වාසස්ථාන සපයන්නන්, එහි සේවකයන්, සංචාරක මෙහෙයවන්නන්, මාර්ගෝපදේශකයන්, සංචාරක බස් හිමියන් සහ සංචාරක රියැදුරන් බව ද එම වාර්තාවල සඳහන් කර ඇත.  


සංචාරකයන්ට වාසස්ථාන සපයන්නන් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩල 1,17,759 දෙනකුට ද සංචාරක නියෝජිතයන් 6,930 දෙනකුට ද වෙනත් සේවා සපයන්නන් 6,908 දෙනකුට ද මග පෙන්වන්නන් 3,516 දෙනකුට ද සංචාරක රියැදුරන් 5,700 දෙනකුට ද කොරෝනා වයිරසය හේතුවෙන් මෙසේ දැඩි බලපෑම් එල්ල වී ඇති බව අමාත්‍යාංශ වාර්තාවේ සඳහන් වේ.  


මෙම පිරිසට සහන සැලසීම සඳහා සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉකුත්දා සහන පැකේජයක් ද හඳුන්වා දෙන ලැබූ අතර ඊට කැබිනට් අනුමැතිය ද හිමිවිය.