ශ්‍රීලනිපය බදාදා තීන්දුව අරන්


 

(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)  
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නිල නොවන අන්දමින් දැනටමත් තීරණය කර ඇතැයි වාර්තා වේ.   

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ඉකුත් බදාදා රාත්‍රියේ ශ්‍රීලනිප ප්‍රබල ඇමැතිවරයකුගේ කොළඹ පිහිටි නිල නිවසේදී රැස්වී මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

 
ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 42 දෙනාගෙන් විදේශගතව සිටින මැති ඇමැතිවරුන් කිහිප දෙනකු හැරුණු විට මැති ඇමැතිවරුන් 26 දෙනකු පමණ ඊට සහභාගිවී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාවට සහාය දීම සම්බන්ධයෙන් නිල වශයෙන් තීරණය කෙරෙනු ඇතැයිද දැනගන්නට තිබේ.  


විශ්වාසභංග යෝජනාවට සහාය නොදී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂට නොහැකි බව සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී. දිසානායක යන ඇමැතිවරුන් ගිය සතියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර ශ්‍රීලනිප නියෝජ්‍ය ඇමැතිවරුන් සිවු දෙනකු විශ්වාසභංග යෝජනාවටද අස්සන් කර ඇත.   


මේ අතර නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවැසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (2) රාත්‍රී 7ට පැවැත්වෙන ශ්‍රීලනිප කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් 39 දෙනාම පොදු එකඟතාවකට එළඹෙනු ඇති බවය.