ශ්‍රීලනිපය ජනපතිගෙන් කරුණු තුනකට උත්තර අහයි


(අජන්ත කුමාර අගලකඩ) 

ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කරුණු තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර ඇති බවත් මන්ත්‍රී කණ්ඩායම ලෙස එම ස්ථාවරයේ දිගටම සිටින බවත් ශ්‍රීලනිප ජාතික සංවිධායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 

ඉකුත්දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී මෙම යෝජනා සාකච්ඡා කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව ද ඔහු සඳහන් කළේය. 


අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කර වෙනත් අයකු අගමැති ධුරයට පත් කිරීම, එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයකු පත්කර ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම, එසේත් නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම. එම යෝජනා තුන බව ද ඇමැති ප්‍රේමජයන්ත මහතා කීවේය. 


 ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙම ස්ථාවරයේ දිගටම සිටින බව ද ඔහු පැවැසීය.