ශ්‍රීලනිප විනය පරීක්ෂණ පවත්වන පදනම මන්ත්‍රී ෆවුසි ප්‍රශ්න කරයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගිය බවට චෝදනා කරමින් විනය පරීක්ෂණ පවත්වන බවට ප්‍රකාශ වූවද තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි.  

සෑම මසකට වරක් පක්ෂ සාමාජික මුදල් වශයෙන් රුපියල් 3000ක මුදලක් මේ දක්වාම ගෙවන අතර එසේ නම් පක්ෂය හැර යන්නේ කෙසේ ද යන්න පිළිබඳ විමසා සිටින බවයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්නේ.  


විනය පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ දැනට විනය පරීක්ෂන පවත්වන මන්ත්‍රීවරුන් 5 දෙනාට නොව පක්ෂය විනාශ කළ පිරිසට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.  


වසර 68ක් පැරණි ශක්තිමත් පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණයන්ටම තරග කළ පක්ෂයයි.  


එහෙත් මෙවර ජනාධිපතිධුර අපේක්ෂකයෙක් පවා ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයට එම පක්ෂය බංකොළොත් කළ පුද්ගලයන්ට එරෙහිව ප්‍රථමයෙන් විනය පරීක්ෂණය පැවැත්විය යුතු බව ඔහු සඳහන් කළේය.  


ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ තමන්ගේ ආණ්ඩුව බවත්, තමන්ද එම ආණ්ඩුවේ සාමාජිකයෙක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.