ශ්‍රීලනිප තනි ආණ්ඩුවකට සාකච්ඡා දිගටම


ශ්‍රීලනිප ඇමැති පිරිසක් හිටපු ජනපති හමුවෙති

(අජන්ත කුමාර අගලකඩ)  

ඒකාබද්ධ විපක්ෂයේ ද සහාය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා තවදුරටත් කරගෙන යාමට ශ්‍රීලනිපය කටයුතු කරමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.   

නිමල් සිරිපාල ද සිල්වා අනුර ප්‍රියදර්ශන යාපා සහ එස්.බී. දිසානායක යන අමාත්‍යවරුන් තිදෙනාගෙන් යුත් කමිටුවක්ද ඒ සඳහා පත්කර ඇති අතර එම පිරිස ඉකුත් බදාදා (21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවී සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.   


සන්ධාන ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය අවම වශයෙන් ඇමැති ධුර 5ක්වත් බාරගත යුතු බවට ශ්‍රීලනිපයෙන් යෝජනාවී ඇති අතර එහෙත් ඒකාබද්ධ විපක්ෂය වගකීම් භාරගැනීමට කැමැත්තක් පළකර නැතැයි ද දැන ගන්නට තිබේ.  


එසේ වුවද දෙපාර්ශ්වය අතර සාකච්ඡා දිගටම කරගෙන යාමට එකඟතාව පළවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


මේ අතර ආණ්ඩුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් සංකල්පීය සැලැස්මක්ද සකස් කර ඇති බවත් එය අදියර තුනක් යටතේ සැලසුම් කර ඇති බවත් වාර්තාවේ.   


ආණ්ඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයාට කාලය ලබාදීම ආණ්ඩුවේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සතිපතා සමාලෝචනය කිරීම සහ ඒකාබද්ධ විපක්ෂය සමඟ දිගටම සාකච්ඡා කිරීම එම අදියර තුන බව ද දැනගන්නට තිබේ.