ශ්‍රී ලංකාවාසී සියලුම බැතිමතුන්ට ආශිර්වාද පතා පැවැත්වෙන ශ්‍රී සර්වඥ කේශ ධාතු වන්දනාව


බංගලාදේශ රාජ්‍යයේ සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන ලද ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ සහ ශාරීරික ධාතුන් වහන්සේලා ද, අනෙකුත් රහත් ධාතුන් වහන්සේලා ඇතුළු වටිනා මැණික් පිළිම වහන්සේලා, දකුණු පළාතේ පාලටුව, එළඹතලාගොඩ, ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානය වෙත වැඩම කරවා, ඔක්තෝබර් මස 24-25 දෙදින බැතිමතුන්ට සියැසින් දැක බලා වැඳපුදා ගැනීම පිණිස කටයුතු සූදානම් කර ඇත.


මෙම මාහැඟි පිංකමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල 2018 ඔක්තෝබර් මස 24 වැනි බදාදා ප.ව. 4.00ට පාලටුව විහාරගණයෙහි සංඝනායක, පූජ්‍යපාද අත්තුඩාවේ පියරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා කොළඹ 2, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ සහ විහාරාධිපති පූජ්‍ය පාලටුවේ ජිනරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සඟසතු කොට පූජා කෙරේ.


මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ද සහභාගි වීමට නියමිතය.