ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අහෝසි කරන්න - ඒකාබද්ධයෙන් පෙත්සමක්


(දයාසීලි ලියනගේ)   
සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය තීරණය කර ඇත.   

මෙම වෙළඳ ගිවිසුම මගින් රටට විශාල ආර්ථික හානියක් සිදුවන නිසා එය වළක්වා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.   


මෙවැනි ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට පෙර පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුව ඇතත් එවැන්නක් නොකර මැයි 1 වැනිදා සිට මෙම ගිවිසුම ක්‍රියාත්මක කර ඇතැයි ආචාර්ය ගුණවර්ධන මහතා සඳහන් කළේය.   


මෙම බදු ගිවිසුමට එරෙහිව ක්‍රියාකරන ලෙස විද්වත් පිරිස් ගණනාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉල්ලා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.   


මෙම ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනවාට අමතරව විරෝධතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.