ශ්‍රී ලංකන්ට කෝටි 2400 ක ආද‌ායමක් අහිමිවෙන ලකුණු


(දයාසීලි ලියනගේ)  

ශ්‍රී ලංකන් ගුවන් සේවයට වර්ෂයකට රුපියල් කෝටි 2400 ක පමණ මුදලක් හිමිවෙන කටුනායක ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම් කටයුතු මේ මස 31 වැනි දිනෙන් අවසන් වෙන තත්ත්වයක් උද‌ා වී ඇත.  

භූමි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය හා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය අතර පවතින ගිවිසුම මාර්තු 31 න් අවසන්වීමට නියමිතව ඇති අතර එම ගිවිසුම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළඹී නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරණ මහතා කීය.  


 මෙම ගිවිසුම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වෙන විට සාකච්ඡා වට ගණනාවක්ම පවත්වා ඇතත් මෙතෙක් අවසන් නිගමනයකට එළඹී නැති බව ද ඔහු ප්‍රකාශ කළේය.  


ගුවන් තොටුපොළ භූමි මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට පැවරීමට යම් සැලැස්මක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඒ මහතා කීය. යම් ලෙසකින් ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම් කටයුතු අහිමි වුවහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩිම ආද‌ායමක් ලැබෙන මාර්ගය අහිමි වෙනු ඇත.