වෝහාරික වාර්තාව සඳහා විශේෂ අධිකරණයක් ඕනෑ


ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති   

(පද්මිණී මාතරගේ)   

වෝහාරික විගණන වාර්තාව ගැන විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.   

මේ වෙන විට වෝහාරික විගණන වාර්තාවේ කාණ්ඩ 5ක් එළි දක්වා තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වැරැදිකරුවන්ට නීත්‍යානුකූල ක්‍රියා මාර්ග ගනිමින් දඬුවම් කිරීම සඳහා මෙසේ මෙම විශේෂ අධිකරණයක් ආරම්භ කරන ලෙසට ඉල්ලා සිටින බව ද ඒ මහතා සඳහන් කර සිටී.   


මෙම වෝහාරික විගණන වාර්තාවට බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශන වාර්තා යොදා ගෙන තිබෙන අතර ජනාධිපති විමර්ශන වාර්තාත්, විගණකාධිපතිගේ විගණන වාර්තා මෙන්ම ඊට අමතරව මෙම ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද සී අයි ඩී පරීක්ෂණ වාර්තා යොදාගෙන තිබෙන බවත් එම නිසා විධිමත්ව සකස් කර තිබෙන වෝහාරික විගණන වාර්තා පදනම් කරගෙන මහ බැංකුවටත්, සේවක අර්ථ සාධක අරමුදලටත්, ජනතාවටත් සිදුකර ඇති පාඩුව අයකර ගැනීම සඳහා කඩිනමින් අධිකරණ ක්‍රියා මාර්ග ගත යුතු බවද ඒ මහතා අවධාරණය කර සිටී.   


එසේම කිසියම් අයෙකුට මෙම වෝහාරික වාර්තාව සකස් කිරීම පිළිබඳ ප්‍රශ්න තිබේ නම්, එම විගණකයින්ද අධිකරණයට කැඳවීමට හැකි බවද පෙන්වා දෙන ඒ මහතා දැන් කඩිනමින් කළ යුත්තේ අදාළ ක්‍රියා මාර්ග ගැනීම යැයි ද ඒ මහතා සඳහන් කර සිටී.