වෘත්තීය සමිති නිලතලවලට කාන්තා නියෝජනයක් අනිවාර්ය කරයි


(පද්මිණී මාතරගේ)  

වෘත්තිය සමිති ආඥ‌ා පනත සංශෝධනයට ලක්කර ඒ ඒ ආයතනවල වෘත්තිය සමිති නිලතලවලට කාන්තා නියෝජනය සාධාරණ ලෙස ලබා දීම අනිවාර්ය කිරීම සඳහා නව නීති සකස් කිරීමට රජය අවධානය යොමුකර ඇත.  

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කිරීමේදී, ඒ පිළිබඳව මුලින්ම කතා කළ යුත්තේ වෘත්තීය සමිතිවලින් බවත් එහෙත් රටේ පෞද්ගලික අංශයේ බොහෝ ආයතනවල වෘත්තීය සමිතිවල ප්‍රධාන නිලතල දරනු ලබන්නේ පිරිමි පාර්ශ්වය විසින් බව ද පවසන කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාන්තා නියෝජනයට ද සාධාරණ ඉඩක් අනිවාර්යෙන් වෙන්කිරීම සඳහා මෙම සංශෝධනයන් කිරීමට කටයුතු කරන බව ද කීය.  


 විශේෂයෙන්ම හෙද සංගම්, නිදහස් වෙළෙඳ කලාප ආශ්‍රිත ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලා ඇතුළු බොහෝ සේවා ස්ථානවල වෘත්තීය සමිති නිලතලවලට පත්කර ඇත්තේ පිරිමි පාර්ශ්වයන් බවත් පෙන්වා දෙයි.  


 මේ සම්බන්ධව සියලු වෘත්තිය සමිති, හාම්පුතුන්, රජය යන අංශ එක්ව ස්ථාපිත කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ දී සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත.