වී අලෙවි මණ්ඩලයට මෙවර වී ඇටයක්වත් ලැබී නෑ


පෞද්ගලික අංශය වැඩි මිලට අරන් 

(මහින්ද නිශ්ශංක)   

මෙවර යල කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම ආරම්භ කළ වී අලෙවි මණ්ඩලයට කිසිදු ගොවියෙකු වී ඇැටයක්වත් මෙතෙක් ලබාදී නැතැයි වාර්තාවේ.   
මේ සම්බන්ධව කළ විමසීමකදී වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා පැවැසුවේ මෙතෙක් මණ්ඩලයට වී ඇටයක්වත් නොලැබුණු 
බවයි.   

මෙවර යල කන්නයේදී නාඩු වී කිලෝවක් රුපියල් 38 බැගින් හා සම්බා කිලෝවක් රුපියල් 41 බැගින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කටයුතු යොදා තිබුණද මණ්ඩලයට වඩා වැඩි මිලට පෞද්ගලික අංශය ගොවීන්ගෙන් වී මිලදී ගැනීම නිසා මණ්ඩලයට වී නොලැබීම ප්‍රධාන හේතුව බවද සභාපති අනුරාධනායක මහතා කීය.  ඕනෑම ප්‍රමාණයක් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට අවශ්‍ය තරම් මුදල් ලබාදීමට මුදල් අමාත්‍යාංශය සූදානමින් සිටින බවත් පැවැසූ සභාපතිවරයා අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර ඇතුලු දිස්ත්‍රික්ක රැසක ගබඩා විවෘත කර තිබෙන බවද පැවැසීය. මෙවර යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක් බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවැසීය. මේ අතර මණ්ඩලය ඉකුත් මහ කන්නයේදී ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 50000ක් පමණ මිලදී ගත් බවද සභාපති අනුරාධනායක මහතා කීය.