විස්සට පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක්


ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා

(අජන්ත කුමාර අගලකඩ) 

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදිනක විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත. 


ඒ අනුව එම විවාදය ලබන බදාදා (21) සහ බ්‍රහස්පතින්දා (22) යන දෙදින පුරා පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16) පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. 

එම දින දෙකේ පාර්ලිමේන්තුවේ කටයුතු උදේ 10.00 සිට සවස 4.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණද මෙම විවාදය නිසා එම දින දෙකේදීම පාර්ලිමේන්තු විවාදය රාත්‍රි 7.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. 
ඒ අනුව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්දය විමසීම බ්‍රහස්පතින්දා (22) ප.ව. 7.30ට සිදු කෙරෙනු ඇත. 


විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් අනිද්දා (20) ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. 


මේ අතර විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන අටක් පමණ ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද මඟපෙන්වීම් අනුව මෙම සංශෝධන ඉදිරිපත් කෙරෙනු ඇත. 
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි කාලය වසර දෙක හමාරක් ලෙසත් ජනාධිපතිවරයාට එරෙහිව මානව හිමිකම් නඩු පැවැරිය හැකි ලෙසත් වන සංශෝධන ඉන් ප්‍රධාන තැනක් ගන්නා බවද රජයේ ආරංචිමාර්ග කියයි. 


මේ අතර 20 වැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමේ මෙහෙයුමක්ද ආණ්ඩුව විසින් ආරම්භ කරනු ලැබ ඇතැයි වාර්තාවේ. 


ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැර මන්ත්‍රී ආසන 149ක් හිමිවී ඇතත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දීමට ඇති ඉඩකඩ සීමිත බැවින් ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරය සඳහා තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ සහාය ලබා ගැනීමට සිදුවනු ඇත. 
ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකුගේ හෝ 6 දෙනකුගේ සහාය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර විපක්ෂයේ සිටින සුළු ජාතික පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද විසිවැනි සංශෝධනයට සහාය දීමේ සූදානමක සිටින බව වාර්තා වේ.