විස්ස විවාදය ලබන සතියේ


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෙට කතානායක හා ජනපති අතට

(අජන්ත කුමාර අගලකඩ)

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මිළඟ පාර්ලිමේන්තු සතිය එළැඹෙන ලබන සතියේ දී විවාදයට ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.  


විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම මේ වනවිට අවසන් කර ඇති අතර ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට හෙට (12) වනවිට ලැබීමට නියමිතව ඇත.  

ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇත.  


විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් ලබන 20 වැනිදා ප්‍රකාශයට පත්කරනු ලැබුවහොත් එදිනම විවාදයට ගැනීමට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී ද සාකච්ඡා කර තිබිණි.  


විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ද ඇතුළත් කර ඇති අතර එය න්‍යාය පත්‍රයේ සඳහන්ව ඇත්තේ ද පළමු යෝජනාව ලෙසය.  


වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පළමු පනත් කෙටුම්පත ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වීම විශේෂත්වයකි.  


මේ අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතරය සකස් කර ගැනීමේ මෙහෙයුමක් ද ආණ්ඩුව මේ වන විට ආරම්භ කර තිබේ.  


විජයදාස රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දිය හැකි ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුකර ඇති නිසා ආණ්ඩුවට දැනට තිබෙන ඡන්ද සංඛ්‍යාව බොහෝදුරට 148ක් විය හැකිය.  
මේ තත්ත්වය තුළ තුනෙන් දෙක සාදා ගැනීම සඳහා ආණ්ඩුවට අඩුම තරමින් තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුවත් විපක්ෂයෙන් ගත යුතුව ඇති බැවින් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් පස් දෙනකු පමණ ගැනීමේ සූදානමක් පවතින බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.  


ආණ්ඩුවේ තුනෙන් දෙක බහුතරය සාදාගැනීමේ මෙහෙයුම පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් බාරගනු ලැබ ඇති බව ද අපි ඉකුත් සතියේ වාර්තා කළෙමු.  


මේ අතර 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (09) පස්වරුවේ පැවැත්විණි.