විශ්‍රාම වයස 60ට දිගු කිරීමේ තවත් සාකච්ඡාවක් 1 වැනිදා


(පද්මිණි මාතරගේ)  

පෞද්ගලික අංශයේ රැකියා කරන සේවක සේවිකාවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ නීති කෙටුම්පත 

වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමට වෘත්තීය සමිති සහ හාම්පුතුන් අප්‍රේල් 1 වැනිදා කම්කරු අමාත්‍යංශයේ දී හමුවෙති.  

ඒ අනුව රජය, හාම්පුතුන් සහ වෘත්තීය සමිති සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාතික කම්කරු උපදේශක සභාවේ දී මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ ලේකම් අැන්ටන් මාකස් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.  
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමට පසුගිය අයවැයෙන් තීරණය කර තිබූ අතර ඒ අනුව සකස් කළ නීති කෙටුම්පත ඉකුත් බදාදා (24) වෘත්තීය සමිති වෙත ලබා දී ඇත.  
දැනට ලංකාවේ පුරවැසියන්ගේ ආයු කාලය අවුරුදු 75 දක්වා වැඩි වී තිබෙන බවත්, කාන්තාවන් අවුරුදු 50 සහ පිරිමි සේවකයන් අවුරුදු 55 න් විශ්‍රාම ගන්නා විට ආයු කාලය ලෙස තිබුණේ වයස අවුරුදු 50-60 බව ද ඒ මහතා කීය.  


එහිදී වයස අවුරුදු 50 දී කාන්තාවක් විශ්‍රාම යන්නේ නම්, තවත් අවුරුදු 25ක් සහ, පිරිමි අයෙකු නම් අවුරුදු 20ක් රැකියාවක් නොමැතිව හිඳීමට සිදුවන බව ද පෙන්වා දුන් ඒ මහතා මෙම විශ්‍රාම යන වයස මෙසේ දීර්ඝ කිරීම කාලීන යෝජනාවක් යැයි ද පෙන්වා දුන්නේය. එසේම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට විශ්‍රාම යන වයසක් නිශ්චිතව නැති බවත් ඒ ඒ ආයතන විසින් ලබා දෙන පත්වීම් ලිපිය අනුව විශ්‍රාම වයස සඳහන් කර ඇති බව ද කීය. මෙහිදී සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය නොවිය යුතු බවත් කිසියම් සේවිකාවකට අවුරුදු 50 දී සහ සේවකයෙකුට අවුරුදු 55 දී සිය අර්ථසාධක අරමුදල් ලබා ගැනීමට තිබූ අයිතිය එසේම තිබිය යුතු යැයි ද කීය.