විදේශ රැකියා ලියාපදිංචිය තවත් රටවල් හතරකට දිගු කරයි


(පද්මිණී මාතරගේ)  

විදේශ රැකියා ලියාපදිංචිය තවත් රටවල් හතරකට ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කඩිනම් පියවර ගෙන ඇත.  

ඒ අනුව විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට කාර්යාංශය පියවර ගෙන තිබූ අතර එහි දෙවන අදියර ලෙස හොංකොං, රුමේනියා, පෝලන්තය හා චෙක් රාජ්‍යයට අද‌ාළ ලියාපදිංචි කිරීම ඉකුත් 17 වෙනිද‌ා ආරම්භ කිරීමට පියවර ගනු ලැබූ බව කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසයි.

  
ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබූ අතර වෛරසය යම්තාක් දුරට පාලනය වීම හා විදේශ රැකියා නියෝජිතායතන මෙන්ම ශ්‍රමික ප්‍රජාව විසින් සිදුකරන ලද ඉල්ලීම් සලකා බලා කාණ්ඩ වශයෙන් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම යළි ආරම්භ කිරීමට කාර්යාංශය පියවර ගෙන තිබිණි.  
විදේශගත වීමට අනුමැතිය ලබාදීම ප්‍රථම අදියර මැයි 20 දින සිට යළි ආරම්භ කළ අතර, ඒ අනුව දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල් ​රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දී ඇත.  


මේ අනුව කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාලවල සාමාන්‍ය රාජකාරි ආරම්භ කර ඇති එබැවින් රැකියා සඳහා ලියාපදිංචි කිරීම් ද එම ස්ථානවලදී සිදුකෙරේ. එහිදී විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින, නැවත එම රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තුව අය ලියාපදිංචියේ දී ප්‍රමුඛතාවය ලබාදෙයි.  
විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීමට අද‌ාළ සෙසු නීති රීති සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වන අතර මැදපෙරදිග හා සෙසු රටවලට අද‌ාල විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය.