විදුලියේ සේවක ආදායම් බදු මණ්ඩලයෙන්ම ගෙවලා


(දයාසීලි ලියනගේ)  

ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු අර්ධ රාජ්‍ය ආයතන ගණනාවක සේවකයන්ගෙන් උපයන විට ගෙවී​ෙම් බද්ද අය නොකර ඒ ඒ ආයතන විසින්ම එම ගෙවීම් කර ඇතැයි වාර්තා වේ.  

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙන් පමණක් වර්ෂ 2010 සිට 2015 දක්වා අයවිය යුතු ආදායම් බදු මුදල රුපියල් කෝටි 200 කට වැඩිවෙන බව 2015 ලංකා විදුලිබල මණ්ඩලයේ විගණකාධිපති වාර්තාව පෙන්වා දී ඇත.  


 සේවක වැටුපෙන් ගෙවිය යුතු උපයන විට බද්ද, එම සේවකයන්ගෙන් අයකර නොගෙන විදුලිබල මණ්ඩලය විසින් රජයට ගෙවා ඇත.  


 මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති අතුල වන්නිආරච්චි මහතා ප්‍රකාශ කළේ සේවකයන්ට සහනයක් සැලසීම වෙනුවෙන් මෙම ක්‍රමවේදය අනුගමනය කර ඇති බවයි.  


 උපයන විට ගෙවීමේ බදු මුදල් වැටුපෙන් කපා හරින්නේ නම් ඒ පිළිබඳව වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවක සාකච්ඡා කර තීන්දුවකට එළඹිය යුතු බවද ඔහු කීය.