විදුලිය බිල වැඩි කිරීමේ බලය ඇමැති අතට


මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවත් කරයි   

(දයාසීලි ලියනගේ)   
විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සතුව ඇති බලය විදුලිය බල ඇමැතිවරයාට පවරාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.   

මේ සඳහා විදුලිබල පනත සංශෝධනය කිරීමට නියමිතව ඇත.  පසුගිය කාලය තුළ විදුලිය බිල වැඩි කිරීමට යෝජනා වූ අවස්ථාවේ මහජන උපයෝගීතා කොමිසම එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණි. හදිසි විදුලිය මිලදී ගැනීම්, ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීම, දීර්ඝකාලීන විදුලිය ජනන සැලසුම් ක්‍රියාත්මක නොකිරීම යනාදී හේතු නිසා ජනතාව අසීරුවට පත්වෙන ආකාරයට විදුලිය බිල වැඩි කිරීම මහජන උපයෝගීතා කොමිසම මගින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණි.   


මේ තත්ත්වය නිසා විදුලිය බල මණ්‍ඩලයට සිත් සේ විදුලි බිල වැඩි කිරීමට නොහැකි වී ඇතැයි ද වාර්තා වේ. මහජන උපයෝගීතා කොමිසම සතු බලය ඇමැතිවරයා යටතට ගැනීමෙන් බාධාවකින් තොරව තීන්දු තීරණ ගැනීමට හැකිවෙනු ඇතැයි විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්‍ඨ ප්‍රකාශකයෙක් කීය.