විදුලිය අමාත්‍යංශ නව කාර්යාල ගොඩනැගිල්ලේ කුලියට භාණ්ඩාගාර අනුමැතිය නෑ


(දයාසීලි ලියනගේ)   

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහා අලුතෙන් කුලියට ගැනීමට යන ගොඩනැගිල්ලේ තක්සේරු මිල ටෙන්ඩර්කරු ඉදිරිපත් කර ඇති මුදලට සමාන කරන ලෙස විදුලිබල අමාත්‍යංශය කර ඇති ඉල්ලීම තක්සේරු දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.   

මෙම ගොඩනැගිල්ල සඳහා රජයේ තක්සේරු මිල වී ඇත්තේ වර්ග අඩියට රුපියල් 212ක් වන අතර ටෙන්ඩර්කරුගේ මිල වී ඇත්තේ වර්ග අඩියට රුපියල් 260කි. වර්ග අඩියකට රුපියල් 260ක මිල තක්සේරු කරන ලෙසට විදුලිබල අමාත්‍යංශය කරන ලද ඉල්ලීම මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.   


මෙම ගොඩනැගිල්ල වර්ග අඩි 44,410කින් යුක්ත වන අතර වාර්ෂික කුලිය රුපියල් මිලියන 138කි. අත්තිකාරම් මුදල වශයෙන් රුපියල් මිලියන 226ක මුදලක් ඉල්ලා ඇති අතර, භාණ්ඩාගාරය එය ප්‍රතික්ෂේප කර ඇත.   


භාණ්ඩාගාරය මගින් එම මුදල ගෙවීම ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා ලෙකෝ ආයතනයෙන් එම මුදල ලබාගැනීමට අමාත්‍යංශ අනුමැතිය ඉල්ලා ඇති බව ද සඳහන් වේ.