විජයදාස ගැන තීරණය කරන්න එජාපයෙන් කමිටුවක්:


(උපුල් වික්‍රමසිංහ)  
බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.  

පසුගිය බ්‍රහස්පතින්දා දින රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ තීරණය ගෙන ඇති අතර ඒ අනුව එකී කමිටුව නුදුරු දිනෙකදී පත් කිරීමට නියමිත බව එජාප ඇමැතිවරයෙක් “ඉරිදා ලංකාදීප”යට පැවැසීය.  


විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනායුතුද යන්න මේ කමිටුව මගින් තීරණය කිරීමටත් පසුගිය පාලන කාලයේ මහා පරිමාණ වංචා දූෂණ චෝදනා එල්ලවූ මැති ඇමැතිවරුන්ට එරෙහි නඩු පැවැරීමේ කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටත් එහිදී තීරණය වූ බව එම අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


මේ අතර තවත් ආරංචි මාර්ගයක් පැවසුවේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාට වෙනත් අමාත්‍යංශයක් ලබාදීම සඳහාද සාකච්ඡා කිරීමට නියමිත බවයි.