වැලි බලපත්‍ර යළිත් එයි


 

(නිශාන්ත කුමාර බණ්ඩාර) 

වැලි ප්‍රවාහනය සඳහා ලිහිල් කළ බලපත්‍රය යළි ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. 

 වෙළෙඳ පොළේ අධික මිල ගණන්වලට වැලි අලෙවි කෙරෙන නිසා පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පිට වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අත්හිටුවීය. 


 එහෙත් එම සහනය උපයෝගී කරගෙන බොහෝ වැලි ව්‍යාපාරිකයන් අනවසර ලෙස ගංඉවුරු විනාශ කරමින් වැලි ගොඩදමන බවට තොරතුරු වාර්තා වී තිබේ. 


ඒ නිසා යළිත් හෙට (16) සිට වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ‘ඉරිද‌ා ලංකාදීප’යට පැවසීය. 


වැලිගොඩ දමා ඒවා ප්‍රවාහනය කරන ස්ථානය, ප්‍රවාහනය කරන මාර්ගය පිළිබඳ විස්තර ඇතුළත් විශේෂ ‘ඇප්’ එකක් හඳුන්වා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව එය අනවසර වැලිගොඩ දැමීමක් ද අනවසර ප්‍රවාහනයක් ද යන්න පහසුවෙන් සොයාගත හැකිවෙන අතර ඔවුනට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව ද අනුර වල්පොල මහතා පැවැසීය.