වැලි කියුබ් ලක්ෂ 30ක් රටින් ගෙනෙයි


(සමන්තිකා මාධවී)   
සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි ප්‍රථම වරට පිටරටින් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

කොළඹ නගරය ආශ්‍රිත කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අවශ්‍ය වැලි කියුබ් මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් මෙලෙස ආනයනයට සැලසුම්කොට ඇති බව එම කාර්යාංශයේ කැණීම් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා සඳහන් කරයි.


කඩිනම් සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය වැලි, ගංගාවලින් ලබා ගැනීමෙන් ඇතිවෙන පරිසර හානිය සහ ඒ ඔස්සේ සිදුවිය හැකි වැලි කැණීම් අක්‍රමිකතා මඟහරවා ගැනීමට අදාළ පියවර යොදන බවට ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.   


පෝට් සිටි ව්‍යාපෘතිය ඇතුළු කොළඹ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිසා අවශ්‍ය වැලි ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවැතීමත් කොළඹ ආශ්‍රිත අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑමත් යනාදිය මෙලෙස ඉල්ලුම වැඩිවීමට බලපා තිබේ.  වැලි ආනයනය සඳහා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත් අවශ්‍ය වැලි කඩිනමින් සපයා ගැනීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.